25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගෑස් සම්බන්ධ පිපිරීම් සිදුව ඇත්තේ සංයුතියේ වෙනසක් නිසා නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන්...

ගෑස් සම්බන්ධ පිපිරීම් සිදුව ඇත්තේ සංයුතියේ වෙනසක් නිසා නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දුන්නා- වෙළෙඳ ඇමැති කියයි.

ගෑස් සම්බන්ධ පිපිරීම් සිදුව ඇත්තේ සංයුතියේ වෙනසක් නිසා නොවන බව ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දුන්නා…-වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ (01) පාර්ලිමේන්තුවේ දී පැවති වෙළෙඳ අමාත්‍යාංශ උපදේශක සභාවේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගී වෙමින්ය.

.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදු වූ බවට වාර්තා වූ ගෑස් ටැංකි පිපිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ඊයේ දින පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට බඳුන් වීමත් සමඟ, කථානායකතුමාගේ උපදෙස් පරිදි පවත්වන ලද මෙම විශේෂ රැස්වීමේ දී ගෑස් සම්බන්ධ විශේෂඥ දැනුමක් සහිත ආචාර්ය මහාචාර්යවරුන් විසින් මෙම පිපිරීම් සඳහා පාදක විය හැකි කරුණු කිහිපයක් මතු කරන ලද අතර එහිදී, ගෑස් සංයුතියේ වෙනසක් වුවද ගෑස් ටැංකි පිපිරීමක් සිදු නොවන නමුත් රෙගියුලේටරය වැනි උපකරණ වල දුර්වලතා මත සිදු වන ගෑස් කාන්දු වීම් නිසා මෙවැනි අවස්ථාවන් ඇති විය හැකි බව පෙන්වා දෙන ලදී.
එමෙන්ම ජනතාව විසින් සමාජ මාධ්‍ය වල හෝ වෙනයම් පුද්ගලයෙකු විසින් මාධ්‍ය හරහා සිදු කරනු ලබන බිය වැද්දීම් හේතුවෙන් විවිධ ක්‍රමවේද භාවිතයෙන් මෙම ගෑස් කාන්දු වන්නේ දැයි පරීක්ෂා කිරීමට යාම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව්‍ර විය හැකි බව ද මෙම විද්වතුන් පෙන්වා දෙන ලදී. ඊට අමතරව, ගෑස් කාන්දු වීමක් වන්නේ දැයි සොයා ගැනීම සඳහා එවැනි අවස්ථාවලදී ගන්ධයක් නිකුත් වීමට ගෑස් ටැංකියට ඇතුළු කරන ලද රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේද යන්න සොයා බැලිය යුතු බවත්, ගෑස් සමාගම් විසින් නිකුත් කරනු ලබන රෙගියුලේටරයේ ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් නොමැති නමුත් ජනතාව විසින් වඊට පරිබාහිරව මිළදී ගන්නා රෙගියුලේටර වල නිසි ප්‍රමිතිය නොමැති වුවහොත් මෙවැනි ගැටළු අනිවාර්යෙන්ම ඇති විය හැකි බවත් ඔවුහු පෙන්වා දුන්හ. මීට පිළියම් වශයෙන් ගෑස් සමාගම් විසින් සිය පාරිභෝගිකයා වෙත නිකුත් කරනු ලබන රෙගියුලේටරය හා අනෙකුත් උපකරණ යම් නිශ්චිත කාල සීමාවකින් පසුව පරීක්ෂා කර බැලීමටත් යම් දුර්වලතාවයක් පැන නගින්නේ නම් එය පිළිසකර කිරීමටත් පියවර ගත යුතු බව ද මෙම විද්වතුන් විසින් යෝජනා කරන ලදී.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුහු සඳහන් කළේ මෙම ගෑස් සංයුතියට අදාළව ඕනෑම පීඩනයක් දරාගැනීම සඳහා අවශ්‍ය ශක්තිය සහිතව ගෑස් ටැංකිය ජාත්‍යන්තර වශයෙන් නිපදවනු ලබන බවයි. ඒ අනුව මාධ්‍ය වහරහා විවිධ පුද්ගලයන් විසින් නිසි දැනුමකින් තොරව කරන ලද ප්‍රකාශ හේතුවෙන් මෙම ගැටළුව තවත් උග්‍ර වනු ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. “ගරු කථානායකතුමා විසින් මේ දිනවල පැන නැගී ඇති ගෑස් පිළිබඳව ගැටළුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ මෙන්ම වෙනත් විද්වතුන්ට කරුණු පැහැදිලි කළ හැකි ආකාරයට වෙළෙඳ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් විශේෂ රැස්වීමක් පවත්වන්නට ආරාධනා කළා. ඒ අනුව, එම රැස්වීමට මේ ක්ෂේත්‍රය සම්බන්ධ රාජ්‍ය, පෞද්ගලික යන අංශ වලත් විශ්ව විද්‍යාල වලත් ආචාර්ය මහාචාර්යවරුත් විවිධ කරුණු දැක්වීම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් නිගමනය කළේ කුමන සංයුතියක් ගෑස් ටැංකි වල තිබුණත් ටැංකි වශයෙන් පිපිරී යාමක් සිදු වන්නේ නෑ. දෙවනුව ඒ හා සම්බන්ධිතව භාවිතා වන උපකරණ වල ඇති වන විවිධ ගැටළු හා සමහර භාවිත වල තිබෙන වැරදි ක්‍රමෝපායයන් නිසා ගිනි ගැනීම් පිපිරීම් සිදු විය හැකී. මේ පිළිබඳව විද්‍යාත්මක පදනමක් යටතේ සොයා බැලීමේ හැකියාවක් දේශපාලනඥයන්ට වඩා වැඩිපුර තිබෙන්නේ මේ රටේ ඉන්න විද්වතුන්ටයි. ඒ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතාම අපක්ෂපාතී පිළිගත හැකි විද්වත් මණ්ඩලයක් පත් කර තිබෙනවා මේ පිළිබඳ සොයා බලා සති දෙකක් තුළ වාර්තාව ලබා දීමට. ඒ විද්වතුන් පිරිසත් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඒක නිසා ඔවුන්ගේ වාර්තාවෙන් පසුව ලැබෙන ඕනෑම තීරණයක් අනුව ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එම නිලධාරීන් විසින් කටයුතු කරනු ඇති.” මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ප්‍රකාශ කරන ලදී. “රටේ පවතින ගැටළුවක් සම්බන්ධව විසඳුම් සොයා බැලීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රැස් වී අද දින වෙළෙඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අනුව ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සහිත පිරිස, මාධ්‍ය හමුවේ ප්‍රකාශ නිකුත් කරන ලද පුද්ගලයින්, ගෑස් සමාගම් වල ප්‍රධානීන්මීට සහභාගී වුණා. මෙහිදී ගෑස් ආනයනය කරන අවස්ථා වලදී රජයේ ආයතන විසින් එම ගෑස් සම්බන්ධ ප්‍රමිතිය තහවුරු කිරීමෙන් පසුව පමණක් රට තුළට ගැනීමේ නිසි නියාමනයක් සකස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කමිටු තීරණයෙන් පසුව කටයුතු කරනවා. ඒ අනුව මෙහිදී වෙළෙඳ අමාත්‍යතුමා ප්‍රකාශ කරන ලද පරිදි ගෑස් සම්බන්ධ පිපිරීම් වලදී ගෑස් සංයුතියේ ගැටළුවක් නොවන බව තහවුරු වුණා. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලබා ගත් සාම්පල අනුව මෙම නිගමනයට එළඹ තිබෙනවා. එමෙන්ම ගෑස් සංයුතිය වෙනස් වුවද ගෑස් ටැංකිය පිපිරීමට ලක් නොවන නමුත් ගෑස් සංයුතියට අදාළව උපකරණ වල කාර්යක්ෂ්මතාවය වෙනස් විය යුතු බව පෙන්වා දීමට ඔවුන් කටයුතු කළා.”
මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යවරුන්, විපක්ෂ නායකතුමන් හා පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, සමූපකාර සේවා , අළෙවි ප්‍රවර්ධන හා පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ගෑස් සමාගම් වල ප්‍රධානීන් හා මීට අදාළ රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments