මහාචාර්ය සේනක බිබිලේ මැතිතුමන් විසින් ජාතික ඖෂධ ප්‍රතිපත්තියක අවශ්‍යතාව පෙන්වා දුන්නේ රටක සෞඛ්‍ය සේවාව ගුණාත්මකව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් ලෙසය.
රටක රෝගී සත්‍කාර සේවා ප්‍රශස්ත අයුරින් පවත්වා ගැනීමට අවශ්‍ය ‘අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුව’ සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම ජාතික ඖෂධ ප්‍රතිපත්තියේ මූලික අංගයකි.
එම අත්‍යාවශ්‍ය ඖෂධ තොග රට තුල ප්‍රමාණවත් ලෙස පවත්වා ගනිමින් ගුණාත්මක ලෙස සෞඛ්‍ය පද්ධතියට ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමකි.
සෘජු හා වක්‍ර බදු ගෙවීම මගින් නිදහස් සෞඛ්‍ය සේවයේ වැඩි පිරිවැයක් දරනු ලබන්නේ රටේ ජනතාවයි. එහෙත් දුර්වල ආර්ථික කළමනාකරණය හේතුවෙන් ජනතාවට අවශ්‍ය ඖෂධ සැපයීමට රජයට නොහැකි වීම තුල සෞඛ්‍ය සේවය බිඳ වැටීම වැළැක්විය නොහැක.
ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීමට අවශ්‍ය ඖෂධ සහ උපකරණ දැඩි හිඟයක් ඇති වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් අප වෙත පෙන්වා දී ඇත.
මේ හේතුවෙන් දැනටමත් ප්‍රධාන රෝහල් රාශියක දෛනික සේවාවන් අඩාලවීමේ අවදානමක් මතු වී ඇත.
පසුගියදා පේරාදෙණිය රෝහලේ දෛනික ශල්‍යකර්ම තාවකාලිකව අවලංගු කිරීමට ගත් තීරණය ඊට එක් උදාහරණයකි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එම තත්ත්වය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීම තුළ ගම්‍ය වන්නේ මෙම අර්බුදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ටද නිසි වැටහීමක් නොමැති බවය. නොඑසේ නම් එම උද්ගත වු තත්ත්වය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යංශය නිවැරදි කරුණු දැක්විය යුතුය.
මෙම අර්බුදය පුරෝකථනය කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට ඇති විසදුම් සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි සාකච්ඡාවද මෙතෙක් ලබාදී නැත.
මහජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව අඛණ්ඩව ගුණාත්මකව පවත්වා ගැනීම රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරම වගකීමයි.
දුර්වල ආර්ථික කළමනාකරණය සහ අකාර්යක්ෂමතාවය නිසා නිර්මාණය වන ඖෂධ හිඟය මගින් සෞඛ්‍ය සේවාව බිඳවැටීම තුළ මහජනතාවට ඇතිවන අපහසුතාවයට වගකීම රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපි අවධාරණය කරමු.