22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedඇඳිරි නීතිය පැනවීම අර්බුද සමනයට පදනම නොවේ - පීඩනයට පත් ජනතාවට කුරිරු...

ඇඳිරි නීතිය පැනවීම අර්බුද සමනයට පදනම නොවේ – පීඩනයට පත් ජනතාවට කුරිරු නීතියකින් දමා ගැසීම අවිචාරවත් අනාගතයක් වෙත දොරටු විවර කිරීමක් බව මාර්තු 12 ව්‍යාපාරය කියා සිටියි.

එම ව්‍යාපාරය තව දුරඇඳිරි නීතිය යනු මෙරටේ සෑම පාලන තන්ත්‍රයක් ම වරින්වර තම බල ව්‍යාපෘති සඳහා යොදාගෙන ඇති මෙරටේ පුරවැසියා හොඳින් හඳුනන මර්දනිය උපකරණයකි. එය ජනතා සුබසෙත උදෙසා යොදාගෙන ඇත්නම් ඒ ඉතා දුලබ ලෙසිනි. පෙරදින ද විධායක ජනාධිපතිවරයා,තමන් වෙත හිමි බලතල ප්‍රකාර ඉදිරි පැය 36 ක කාලයකට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. මේ අනුව මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ස්ථාපනය උදෙසා වෙහෙසෙන ස්වේච්ජා සංවිධාන හා පුද්ගල එකතුවක් වන මාර්තු 12 ව්‍යාපාරය ගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය වහා ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසත්, හදිසි නීති බලතල උපයෝගී කරගැනීමට ඉක්මන් නොවන ලෙසත්ය.

එක්පසෙකින් හදිසි නීති රෙගුලාසි මත්තේ සිටිමින් පාලන තන්ත්‍රය හෙබවීම දුර්දාන්ත හා දළදඬු තීරණයක් බව අපගේ අතීතය දෙස් දෙයි. අනෙක් පසින් ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු පූර්ව අවශ්‍යතාවක් මෙතෙක් පැනනැඟුණු බවක්ද නොපෙනේ. එවැනි ඉක්මන් ප්‍රවේශයක් වෙත එළඹෙන ලද්දේ මෙදින පැවැත්වෙනු ඇතැයි අපේක්‍ෂිත ජනතා පෙළගැස්ම පාදක කරගෙන නම් එය ද අප සුරැකීමට සපථ කොට ඇති දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට උත්සහ දැරීමක් යැයි චෝදනාවක් නැඟුන හොත් අපට ඊට දිය හැකි සාධාරණ පිළිතුරක් ඇත්තේද?

අප ශ්‍රී ලාංකේය පුරවැසියන් මේ පසුකරමින් සිටින්නේ ඉතා තීරණාත්මක නිමේෂයකි. දිවියේ මූලික අවශ්‍යතා සම්පාදනයෙහිලා ඔවුන් අනවරත අරගලයක යෙදී සිටින්නේය. මෙකී සහෝදර ජනයා හට තමතමන් රිසි පරිදි අසංවිධානාත්මකව වුව එක්රැස්ව ඔබමොබ යෑමට හා සාකච්ජා කිරීමට අනුල්ලංඝනීය අයිතියක් ඇත්තේය. ඔවුන් වරදක් කරන්නේනම් ඊට ප්‍රතිචාර දැක්විය හැකි පරිදි රටෙහි සාමාන්‍ය නීතිය ද සකස්ව ඇති බව අමතක නොකළ යුතුය.

එහිලා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් ලෙස තම මහජන නියෝජිතත්වය සලකුණු කල යුතු අභියෝගාත්මක කාල සීමාවක් වෙත ප්‍රවේශ ව ඇති බව අවධාරණය කරන්නෙමු. මහජන නියෝජිතයන් අවැසි වන්නේ මෙවැනි අර්බුද ජයගැනීමට මිස තමන් වෙත හිමිවන විමධ්‍යගත අරමුදල් බෙදාහැරීමේ අතරමැදි කාර්යය සඳහා නොවේ. විධායකය ගන්නා සෑම තීරණයක් අභිමුව නෑසු කන්ව සිටීමේ අනිටු විපාක ගැන අපි නැවත නැවත සිහිකළ යුතුව ඇත්තෙමු. තමන් නියෝජනය කරනු ලබන්නේ මෙරටේ සාමාන්‍ය මහජනයා ය යන්න කිසිවිටෙකත් ඔවුන් අමතක නොකළ යුතුව ඇත්තේය.

එබැවින් හදිසි නීතිය මුවාවෙන් ඇඳිරි නීතිය පනවා අපගේ සහෝදර ජනතාව පෙළීම සඳහා වන විධායකයේ බියකරු ප්‍රවේශය නැවත හැරවීමේ තීරණාත්මක කාර්යභාරය සඳහා නායකත්වය ගත යුතුව ඇත්තේද අප පාර්ලිමේන්තුව හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සහ ගරු කතානායකවරයාය. තවද තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දුෂ්කර කාර්යයට පිළිපන් ශ්‍රී ලාංකේය පවුල් හොබවන ගෘහණියන් හා ළමයින් බහුතරයක් මේ වන විටත් දැඩි වේදනාවට හා අවිනිශ්චිත මානසික මට්ටමක් කරා ලඟා වී ඇතැයි යන්න අතිශයෝක්තියක් නොවේ. මේ පිඩනයට පත් ජන තීරුවේ රැකවරණය හා සුභසිද්ධිය වෙනුවෙන් මෙරටේ දේශපාලන පක්‍ෂ නායකයන් ගන්නා තීරණද ඉතා සුවිශේෂය. එහිලා හදිසි අවස්ථා ප්‍රකාශය අනුමත කිරීම සඳහා තම අනුමැතිය නොදෙන ලෙස හා ඊට එරෙහිව තම ජන්දය භාවිත කරන ලෙසද මාර්තු 12 ව්‍යාපාරය පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

අපගේ දැඩි අවධානය යොමුව ඇති අනෙක් නිශේධනීය පසුබිම නම් සමාජ ජාල මාධ්‍ය වෙත ප්‍රවේශ වීම වළක්වාලන ලෙස ආරක්ෂක අමාත්‍යංශය කර ඇති ඉල්ලීම හා ඊට සමාන්තරව මේ වනවිටත් සමාජජාල මාධ්‍ය වෙත ප්‍රවේශවීම ශ්‍රී ලාංකේය පුරවැසියන් වෙත අහිමි වීමත්ය. මෙවැනි තීරණ නිසැකවම අප දිගුකලක් අභ්‍යාස කරන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අවදානමේ හෙළන්නේය. එපමණක් නොව සාමාන්‍ය ජනයා හට තම අදහස් පළකිරීම සඳහා නිමැවී ඇති අවම අවස්ථාව පවා අධිකාරිවාදී ස්වරූපයෙන් බිඳ හෙලන්නේය. එබැවින් මෙවැනි මර්දනිය පියවර මඟහැර සියල්ලෝ සමාන පුරවැසියන් ලෙස සලකා විචක්‍ෂණශීලීව ක්‍රියාකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නෙමු.

එබැවින් අර්බුද සමනයෙහිලා නිබඳව උපයෝගී කරගත යුතු මෘදු භාවිතාවක් වෙත ප්‍රවේශ වන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් උදක්ම ඉල්ලා සිටින්නෙමු. මේ එළඹී ඇත්තේ ඉවසීම ප්‍රගුණ කල යුතු හා විසම්මුතියට ගරු කල යුතු තීරණාත්මක නිමේශයක් මිස ආහාර, විදුලිය හා ගෑස් ඉල්ලා සිටින ජනයා සතුරන් සේ සලකා ක්‍රියා කල යුතු අවස්ථාවක් නොවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments