පාර්ලිමේන්තුව (20) පෙ.ව 10.00 ට රැස්වූ අතර සුළු වේලාවකින් පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ අනුව ප්‍රධාන වැඩකටයුතු යටතේ විවාද කිරීමකින් තොරව අදාළ ගැසට් පත්‍රවලට අනුමතිය ලබා ගැනීමට මෙහිදී තීරණය විය.
එසේම අද දිනට නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කරන බව කථානායකවරයා සභාවට නිවේදනය කළේය.
දිනට නියමිත කටයුතු යටතේ සුරාබදු ආඥා පනතට අනුව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන මේ අනුව විවාදයකින් තොරව අද පාර්ලිමේන්තුවේදී අනුමත කරගැනීම සිදුවිය.
එම ගැසට් පත්‍රවලට අදාළ සබැඳි පහත දැක්වේ
http://documents.gov.lk/files/egz/2021/10/2249-50_S.pdf
http://documents.gov.lk/files/egz/2022/1/2260-78_S.pdf
http://documents.gov.lk/files/egz/2022/1/2260-79_S.pdf
තවද රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාව සදහා ද විවාදයකින් තොරව අද පාර්ලිමේන්තුවේ අනුමතිය හිමිවිය.
එම ගැසට් පත්‍රයට අදාළ සබැඳිය පහත දැක්වේ
http://documents.gov.lk/files/egz/2022/1/2262-14_S.pdf
අනතුරුව ප.ව 4.30 දක්වා රටේ වත්මන් අර්බුදකාරී තත්ත්වය පිළිබඳ පක්ෂ නායකයන් ඇතුළු මැති ඇමතිවරු සිය අදහස් පළ කළහ.
ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්වූ අතර ඒඅනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු එම්. උදයකුමාර් මහතා විසින් මධ්‍යම පළාතේ ගුරු සහායකයන්ට තවමත් ස්ථිර පත්වීම් ලබා නොදීම පිළිබදව අධ්‍යාපන අමාත්‍යවරයාගෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා විසින් කොවිඩ් 19 තත්ත්වය තුළ මුහුණු ආවරණ පැලඳීම ලිහිල් කිරීම හා සම්බන්ධ කරුණු කාරණා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ද විමසන ලදී.
ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් පසුගිය දිනක ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් ඇමරිකානු ඩොලර් විශාල ප්‍රමාණයක් උගන්ඩාවට රැගෙනයාම සහ එහි ආර්ථික බලපෑම පිළිබඳව ඉදිරිපත් කළ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය ප.ව 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව හෙට (21) පෙ.ව 10.00 දක්වා සභාව කල් තබන ලදී.