ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් සංවිධානය කරනු ලබන 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය, 2027 ජනවාරි 4 වනදා සිට 6 වනදා දක්වා කොළඹ Cinnamon Life at City of Dreams පරිශ්‍රයේදී පැවැත්වේ. මෙරට විශිෂ්ටතම මැණික් හා ස්වර්ණාභරණ සමාගම් නියෝජනය කරමින් මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් හා නිෂ්පාදකයින් සියයකට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී ප්‍රදර්ශනයට එක්වීමට නියමිතය. ශ්‍රී ලාංකීය මැණික්වල ඇති උසස් තත්ත්වය සහ දේශීය ස්වර්ණාභරණ ශිල්පීන්ගේ අද්විතීය දක්ෂතාවය ආකර්ෂණය සඳහා ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, චීනය සහ තායිලන්තය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ වෙළඳපල රැසක ගැණුම්කරුවන් මෙවර කොළඹට පැමිණෙනු ඇත.
මෙම 34 වන ප්‍රදර්ශනය පිළිබඳව නිල වශයෙන් දැනුම්දීම සඳහා පැවැත්වු මාධ්‍ය හමුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ප්‍රධාන පාර්ශවකරුවන් රැසක් එක්විය. එහිදී විශේෂ ආරාධිත අමුත්තන් සහභාගීවෙතු මෙම ප්‍රදර්ශනයේ ඇති වැදගත්කම සහ ශ්‍රී ලාංකීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය පිළිබඳව අදහස් දැක්වූහ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සභාපති විරාජිත් එස්. පී. චමින්ද, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ සහ Cinnamon Life at City of Dreams හෝටල් කළමනාකරු රොහාන් රොද්රිගෝ යන මහත්වරු ඒ අතර වූහ. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම ඉහළම පෙළේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීම සඳහා තමන් පූර්ණ සහයෝගය ලබාදෙන බව ඔවුන් සඳහන් කළෝය.
මෙම 34 වන FACETS Sri Lanka ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවටම ආවේණික වූ ලෝප්‍රකට නිල් මැණික් (sapphires) සහ ඉතා අතිශය සාම්ප්‍රදායික ප්‍රදර්ශනයක් වීම සුවිශේෂී විශේෂත්වයක් වනු ඇත. මීට අමතරව, Sapphire Night, Story Corner, Power Breakfast, රළු මැණික් වෙන්දේසි සහ වර්ණ නගරය නැරඹීමේ සංචාර ඇතුළු ජාතික වැඩසටහන් මාලාවක්ද මීට සමගාමීව පැවැත්වීමට නියමිතය. මෙය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ට මෙන්ම ව්‍යවසායකයින්ට අභිප්‍රේරණය හඳුනා ගැනීමටත්, අත්දැකීම් බෙදාහදා ගැනීමටත් සහ නව ව්‍යාපාරික සබඳතා ගොඩනගා ගැනීමටත් අනගි අවස්ථාවක් වනු නිසැකය.
FACETS Sri Lanka ප්‍රදර්ශනයේ සාර්ථකත්වය සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) ලබා දෙනු ලබන දායකත්වය සුවිශේෂී වේ. මෙම ප්‍රදර්ශනයේ දිගුකාලීන හවුල්කරුවන් වන EDB, දේශීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගැණුම්කරුවන් සහ ලෝක වෙළඳපොල සමඟ සම්බන්ධ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කරයි. එමෙන්ම, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ක්ෂේත්‍රයේ ගුණාත්මක ප්‍රමිතීන් ආරක්ෂා කිරීමටත්, එහි දියුණුව උදෙසාත් නිරන්තරයෙන් කැපවී සිටී. තවද මෙම රාජ්‍ය ආයතන ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), සමඟ එක්ව ඉටුකරන කාර්යභාරය තුළින් FACETS මෙරට විශිෂ්ටතම ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලෙස ස්ථාවරව හා ශක්තිමත්ව සිටීමට බෙහෙවින් ඉවහල් වී තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී SLGJA විසින් FACETS 2027 ප්‍රදර්ශනයේ නිල තේමාව සහ ප්‍රවර්ධන වීඩියෝ පටය එළිදක්වන ලදී. එපමණක් නොව, ඉදිරි වසර තුන සඳහා ප්‍රදර්ශනය පැවැත්වෙන දින වකවානුද මෙහිදී ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව, FACETS Sri Lanka 2028 ප්‍රදර්ශනය ජනවාරි 5 සිට 7
දක්වාත්, FACETS Sri Lanka 2029 ජනවාරි 4 සිට 6 දක්වාත්, FACETS Sri Lanka 2030 ජනවාරි 6 සිට 8 දක්වාත් පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයේ ඇති සුවිශේෂී වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA) සභාපති අතුල අසීම් මහතා පැවසුවේ “FACETS 2027 යනු ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය ලෝකයටම විදහා දක්වන කදිම අවස්ථාවක්. එමඟින් අප සතු සියවස් ගණනාවක පැරණි මැණික් උරුමය, දේශීය ශිල්පීන්ගේ දක්ෂතාවය, ව්‍යවසායකත්වය සහ අප සතු නව නිර්මාණශීලී හැකියාවන් සියල්ල මේ හරහා එකම වේදිකාවකදී දැකබලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාව යනු අද්විතීය මැණික් වර්ග ලබාගත හැකි රටක් පමණක් නොව, ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාමේ අතිශය විශ්වාසවන්ත ගමනාන්තයක් බව මේ තුළින් අප නැවත වරක් ඔප්පු කර පෙන්වනවා.” යනුවෙනි.
FACETS Sri Lanka 2027 සභාපති සෙලීන් මන්සූර් මහතා පැවසුවේ “FACETS Sri Lanka 2027 ප්‍රදර්ශනය යනු ශ්‍රී ලංකාවේ සුවිශේෂීම ස්වභාවික සම්පත්වල වටිනාකම සහ දේශීය ශිල්පීන්ගේ අසමසම දක්ෂතාවය ලෝකයටම පෙන්වන ඉතා කදිම අවස්ථාවක්. මෙය හුදෙක් ප්‍රදර්ශනයක්ම පමණක් නොවෙයි, අපේ ඓතිහාසික උරුමය, දේශීය නිර්මාණකරුවන්ගේ විශිෂ්ටත්වය මෙන්ම ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ විශ්වසනීය අපනයනකරුවෙකු බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා අප දරන අඛණ්ඩ උත්සාහය මෙයින් මනාව පෙන්නුම් කරනවා. සොබාදහමේ මේ අගනා දායාදයන්, ඒවා නිර්මාණය කරන අපේ මිනිසුන් සහ ඒ සෑම නිර්මාණයකම තිබෙන සැබෑ දක්ෂතාවය දැකබලා ගැනීමට පැමිණෙන්නැයි අපි ඔබ සැමට ආරාධනා කරනවා. FACETS යනු ජාත්‍යන්තරය සමඟ එක්ව මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අනාගතය හැඩගස්වන ප්‍රධානතම වේදිකාවයි.” යනුවෙනි.
“මෙරට ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන මේ හරහා ක්ෂේත්‍රයේ දියුණුවට වගේම නව නිර්මාණ බිහිවීමට ද ලොකු අනුබලයක් ලැබෙනවා. එමෙන්ම ප්‍රධාන අනුග්‍රාහකයින්, හවුල්කරුවන්, දේශීය ව්‍යවසායකයින් සහ ජාත්‍යන්තර ගැණුම්කරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමෙන් නව ව්‍යාපාරික අවස්ථා රැසක් උදාවනවා. එමඟින් ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රී ලංකාව සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීමට ද අපට හැකියි. මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට කැමති සැමට අපි මේ ප්‍රදර්ශනය සඳහා ආරාධනා කරනවා.” යනුවෙන් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ උප සභාපති මෙහෙයුම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශෙහාන් මන්සූර් මහතා සඳහන් කළේය.
FACETS Sri Lanka 2027 යනු හුදෙක් තවත් එක් ප්‍රදර්ශනයක් පමණක් නොවේ. එය සියවස් ගණනාවක ඓතිහාසික මැණික් උරුමය සහ නවෝත්පාදනය මුසු කරමින්, දේශීය ශිල්පීන්ගේ විශිෂ්ටත්වය ලෝකය හමුවට රැගෙන යන අභිමානවත් ඉදිරි පියවරක් ලෙස පෙන්වා දිය හැකිය.
අනුර ප්‍රේමලාල්
ඡායා-තුෂාර ප්‍රනාන්දු



