ඇල්ල ප්රදේශයේ “Future Life Hotels and Resorts (Pvt) Ltd” ආයතනයට බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණයෙන් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දඩයක්!
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පනතේ නීතිරීති හා විධිවිධාන උල්ලංඝනය කරමින් කටයුතු කළ ඇල්ල, කරදගොල්ල, නැෆෝරා ඇල්ල ප්රදේශයේ පිහිටි “Future Life Hotels and Resorts (Pvt) Ltd” ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
2026.07.10 වන දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී, අදාළ ආයතනය මඟින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කිරීම අනාවරණය කරගනු ලැබීය.
2026.07.22 වන දින මෙම නඩුව බණ්ඩාරවෙල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, විත්තිකාර හෝටල් සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන්, අධිකරණය රුපියල් 1,000,000/- (මිලියනයක / ලක්ෂ 10ක) දඩ මුදලක් නියම කරන ලදී.
පාරිභෝගික නීති උල්ලංඝනය කරන හෝටල්, ආපනශාලා සහ අනෙකුත් වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.
වැඩි මිලට ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ අක්මීමන “ග්රේස් ටී” සමාගමේ සුභසාධක වෙළඳසැලට රුපියල් ලක්ෂ පහක (500,000/-) දඩයක්!
ආනයනික කීරි පොන්නි සහල් සඳහා රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල (පාලන මිල) රුපියල් 255/- ඉක්මවා සහල් අලෙවි කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කළ ගාල්ල, අක්මීමන, ගණේගොඩ පිහිටි “ග්රේස් ටී පුද්ගලික සමාගම” (Grace Tea Pvt Ltd / Graceland Tea Factory) මඟින් පවත්වාගෙන යනු ලබන සුභසාධක වෙළඳසැලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 2026.07.17 දින සිදුකළ වැටලීමකදී, අදාළ වෙළඳසැල මඟින් රුපියල් 255/- ක උපරිම සිල්ලර මිල පැවති ආනයනික කීරි පොන්නි සහල් කිලෝවක් රුපියල් 270/- ක වැඩි මිලට පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ චෝදනාව අනාවරණය කරගනු ලැබීය.
මෙම නඩුව ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව 2026.07.23 වන දින ගරු අධිකරණය විසින් විත්තිකාර සමාගමට රුපියල් 500,000/- (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කළේය.
පාරිභෝගිකයින් රවටමින් උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන්න.



