දීර්ඝ කාලයක් අපේ රටේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව දැන් මුහුණ දෙමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ගත යුතු නිසි ක්‍රියාමාර්ග ලබාගැනීමට අසමත් වූ ආණ්ඩුව රටේ සෑම ක්ෂේත්‍රයකමත්, සෑම ක්ෂේත්‍රයකම පුරවැසියනුත් විශාල පීඩාවකට පත්කර තිබෙනවා. රජයේ කාර්යාලවල වැඩකිරීම අත්හිටුවා, පාසල් මුළුමනින්ම වසා දමා ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත අත්හිටුවා තිබෙනවා. ඉන්ධන කවදා ලැබෙයිද යන්න නිශ්චිතව කිව නොහැකි තත්වයක් තුළ ෂෙඩ් ඉදිරිපිට පුරවැසියන් දින පහ, හය ගතකරනවා. ආහාර සහ ඖෂධ විශාල හිඟයක් තිබෙනවා. රටේ ජනතාව විශාල පීඩනයකට පත්වන බව ජාත්‍යන්තර සංවිධාන අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මුළු සමාජයත්, ජන ජීවිතයත් සුණුවිසුණු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුයි. පීඩනයට පත් සියලු ක්ෂේත්‍රවල ජනතාව තම විරෝධයන් පළ කරමින් තරාතිරමකින් තොරව ඈත ග්‍රාමීය ප්‍රදේශ දක්වා පාරට බසිමින් ඉන්නවා.
මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් ආණ්ඩුවට තිබෙනවා. එකක් ජනතාවගේ සාධාරණ ගැටලුවලට වහාම විසඳුම් ලබාදීමයි. නමුත් ආණ්ඩුව පෙන්නුම් කරමින් තිබෙන්නේ ප්‍රශ්නයවත් හරිහැටි තේරුම් ගෙන නැති බවයි. ඒ නිසා මේ පාලකයන්ගෙන් විසඳුම් ලබාගැනීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. මේ තත්වය තුළ රටත් ජනතාවත් ව්‍යසනයට ලක්කර තවදුරටත් පාලනය ගෙනයාමට කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ රට තුළ තවත් නව පන්නයේ වියවුලක් නිර්මාණය කරන්න. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේදී තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගිනි අවි ඉල්ලා තිබෙනවා. අවසානයේ මන්ත්‍රී කණ්ඩායම් තීරණය කර තිබෙන්නේ තමන් කැමති ග්‍රාමාරක්ෂකයින් පස්දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබාදී ආයුධ ලබාදී ආරක්ෂාව සඳහා යෙදවීමයි. මන්ත්‍රීවරයාගේ අණසකට ක්‍රියාත්මක වන ඔහුගේ ඕනෑ එපාකම් ඉටුකරන පුහුණුවක් සහ ගිනි අවි සහිත මෙවැනි කණ්ඩායම් අතුරු හමුදා ඛණ්ඩ ලෙස පවත්වාගෙන යාමට සූදානම් වෙනවා. කවරෙකුට හෝ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම්, යම් විධිමත් නීත්‍යානුකූල ආයතනයකින් නියෝග ලබාගෙන ආයතනයකින් මෙහෙය විය යුතුයි. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තිබෙනවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ මන්ත්‍රීවරයා වටා අතුරු හමුදා කණ්ඩායමක් පිහිටුවා නව විශාල වියවුලකට මුල පුරන්නයි. මේ තීන්දුව වහාම හකුළා ගන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.
පසුගිය ජුනි 27වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතාට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යවා තිබෙන ලිපිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරනවා. ජූලි මාසයේ 05, 06 දෙදිනෙන් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයක මැදිහත්වීමෙන් උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා. “එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වෙන පරිදි ක්‍රියාකිරීමට දැනටමත් යාපනය ප්‍රදේශය තුළ දේශීය හා විදේශීය ආයතනවල සේවය කරන ප්‍රභූවරුන්ට 05 සහ 06 දෙදින තුළ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව” දැනුම් දී ඇතැයි කියනවා. මේ සම්බන්ධ තොරතුරු ලැබුණු මාර්ගය සහ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නේදැයි බරපතළ සැකයක් තිබෙනවා.