අපේ රටේ සිදුවුණු අරගලය ලෝක ඉතිහාසයට එකතු වෙනවා. බලසම්පන්න ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් අතිශයින්ම සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකළ ජනතා අරගලයක් තුළින් දණගැස්වීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා.
ඇය මේ බව සඳහන් කළේ (09) ඹාධ්‍ය හමුවේදීය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය මෙසේද කීවාය.
මෙහි ජයග්‍රහණ කිහිපයක්ම තිබෙනවා. ජනතාවගේ හැඟීම්, ඔවුන්ගේ වේදනාවන් ගැන නොතැකූ පාලකයන්ට විරුද්ධව මේ අරගලය විශාල බාධක මැද්දේ සිදුකර ජයග්‍රහණය ලැබුවා. ජනතාවට මුහුණ නොදී බංකරයක සිටි ජනාධිපති සහ හොර පාරෙන් පත්වුණු අගමැති ගෙදර යවන තැනකට පොදු ජනතාවගේ ශක්තිය තුළින් අරගලය ගෙනාවා. ලෝක ඉතිහාසයේ මෙවැනි බලගතු ආණ්ඩු පෙරළන එක ප්‍රචණ්ඩත්වයකින් තොරව සිදුකිරීම ලෝක ඉතිහාසයට එකතු වෙනවා. වෙනත් රටවල විශාල ලේ වැගිරීම් තුළින් මෙවැනි අරගල ජයගත්තේ. මෙහිදී ආණ්ඩුව පැත්තෙන් මිස අරගලකරුවන්ගේ පැත්තෙන් කිසිදු ප්‍රචණ්ඩත්වයක් සිදු කළේ නැහැ. අවසානයේ ලේ වැගිරීම් කිහිපයක් සිදු වුණත් ඒ ආණ්ඩුව ක්‍රියාකළ ආකාරය නිසයි.
පොලිසිය සහ හමුදාව අරගලකරුවන් හා එක්ව සිතින් බැඳී ගිය බවත් රාජකාරිය කිරීම සඳහා යම් කටයුතු කළ බවත් පැහැදිලි වුණා. මේ සියල්ල අතරේ අරගලය අවසන් කියලා අපි හිතන්නේ නැහැ. තව කළ යුතු බොහෝ දේ තිබෙනවා. ඊයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ අපි අවධානයෙන් ඉන්නවා. ජනාධිපති සහ අගමැති වහාම අස්වී, සියලුම පක්ෂ සහභාගීවන නිශ්චිත වැඩපිළිවෙළක් සඳහා ඉතාමත් කෙටි කාලයකට අන්තර්කාලීන පාලනයක් පිහිටුවා ගත යුතුයි. ඉන්පසු මැතිවරණයක් හරහා ජනතාවගේ පාලනයක් පිහිටුවා ගැනීමට ඉඩදිය යුතුයි. අරගලයෙන් පිළිබිඹු වුණු හරය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ජනතාවාදී පාලනයකින් ඉටුකර ගත යුතුයි. අරගලයෙන් ප්‍රකාශ වුණු දේශපාලන පරිවර්තනය, දේශපාලන සංස්කෘතියේ පරිවර්තනය, ඒ ආණ්ඩුව තුළින් සිදුකළ යුතුයි. තෙල්, ගෑස් ලබාගැනීමට විතරක් අරගලය ලඝු කරනවා නම්, එය ඉතාම අහිතකර දෙයක්. අරගලය ඊට වඩා පුළුල් සහ ශ්‍රේෂ්ඨ අරමුණු සහිත අත්‍යවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට ගෙනගිය එකක්. ජනතාව ගැන සිතන ආකාරය, දේශපාලන සංස්කෘතිය, පාලකයා සහ පුරවැසියා අතර සම්බන්ධතාවය, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ජාතික ගැටලුව කෙසේ විසඳිය යුතුයිද ආදී පුළුල් අරමුණු මේ තුළ තිබෙනවා. ඉතිහාසයේ සිදුකළ වැරදි නිවැරදි කර ගන්නේ කොහොමද කියලා මේ සාකච්ඡා තුළ විමසා බලනවා.
ගෞරවණීය ලෙස බැහැලා යනවා වෙනුවට ගෝඨාභය රාජපක්ෂට පස්ස දොරෙන් යන්න වුණා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා……..මාස කිහිපයක් තිස්සේ ගෙන ගිය අරගලයේ ජනතා හඬ ගෝඨාභය රාජපක්ෂ තේරුම් ගත්තේ නැහැ. ඔහුගේ හමුදා බලයට වඩා ජනතා බලය ඉතාමත් ප්‍රබලයි, වැදගත් කියලා ඔප්පුවී තිබෙනවා. බලහත්කාරයෙන් බලයේ ඉන්න උත්සාහ කළ ගෝඨාභය රාජපක්ෂට බලය අත්හැර යන්න සිද්ධ වුණා. ගෞරවාන්විත ලෙස නෙවෙයි, පස්ස දොරෙන් පැනලා හැංගිලා යන්න වුණා. ඉන්නේ කොහේද කියලා කවුරුත් දන්නේ නැහැ. පාලකයන්ට එහෙම වෙන්න ඕන නැහැ. කල් ඇතිව ගෞරවාන්විතව ඉවත්වී ගියා නම් සමාජයේ යම් ප්‍රමාණයක නමක් තියාගන්න තිබුණා. මේ සටන පටන් ගන්න කොට මේ පාලකයන් යයිද කියන සැකයක් බොහෝ දෙනාට තිබුණා. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න සිද්ධ වුණා. ඇමතිකම් දාලා යන්න සිද්ධ වුණා. බැසිල් රාජපක්ෂට ඇමතිකමත් මන්ත්‍රීකමත් දාලා යන්න සිද්ධ වුණා. අවසානයේ ජනාධිපතිට මන්දිරය දාලා යන්න සිද්ධ වුණා. 13වැනිදා වනවිට නිල වශයෙන් ඉල්ලා අස්වෙන බව ඔහු දැනුම්දී තිබෙනවා. යුද ජයග්‍රහණ පාවිච්චි කර, රාජපක්ෂ පවුල ගොඩනඟාගෙන තිබුණු අධිපතිවාදිත්වය මෙයින් නිමා වෙනවා. ආරෝපණය කර ගන්නා බලයට වඩා ජනතාවගේ බලය බලවත් බව ඔප්පුවී තිබෙනවා.
ඒත් රට ඉදිරියේ බරපතළ අභියෝග ගණනාවක් තිබෙනවා. තෙල් ප්‍රශ්නය, ගෑස් ප්‍රශ්නය, භාණ්ඩ හිඟය, රැකියා අහිමි වීම යන ප්‍රශ්න තවමත් තිබෙනවා. අපේ රට මුහුණදී තිබෙන බරපතළ සමාජ, ආර්ථික අර්බුදවලින් ගොඩගන්න ගෝඨාභය රාජපක්ෂ ඉවත්වූ පමණින් හැකිවෙන්නේ නැහැ. රට ගොඩගන්න නම්, ජනවරමකින් අලුත් පාලනයක් පිහිටුවා ගන්න ඕනෑ. සමහරු ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීමෙන් පසුව ඇතිවන තත්වය පාවිච්චි කර, පරණ කණ්ඩායම් නැවත තහවුරු වෙන්න, තමන් අතට බලය ගන්න හීන දකිනවා. අගමැති හීනය, ජනාධිපති හීනය, ඇමතිකම් දරන්න මේ වංචාකාරී පාලනයේම කොටස්කරුවන් උත්සාහ කරමින් ඉන්නවා. මේ සටනේ ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමේ සටන් පාඨය තිබුණත් ඒ තුළ වසර 74ක් පවත්වාගෙන ආ වැරදි ආර්ථික ක්‍රමය, මජර දේශපාලනය තුරන් කිරීමේ පුළුල් පරිවර්තනයක අභිලාෂය තිබෙනවා. ජනතාව හිටියේ ඒ සටනේ. සටන අවසන් ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරගත හැක්කේ මැතිවරණයකින් බලය ගන්නා අලුත් පාලනයකින් බව කවුරුත් දැන් පිළිගන්නවා. මේ පාර්ලිමේන්තු සංයුතිය එලෙසම තිබියදී මොනම පරිවර්තනයක්වත් කරන්න බැහැ.
මේ පාර්ලමේන්තුවේ බහුතර බලයක් තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. රාජපක්ෂවරුන්ගේ කණ්ඩායමට. ඔවුන් අත බලය තිබියදී, කිසිම දෙයක් කරගෙන යාමට ඉඩනොදී බාධාකිරීම් සිදුවෙනවා. මේ ජයග්‍රහණයෙන් ලබාගත් ප්‍රතිඵල මේ පාර්ලිමේන්තුව තබාගෙන ජනතාවට භුක්තිවිඳින්න බැහැ. ගෝඨාභය ඉවත්කිරීමේ ජයග්‍රහණය ජනතාවගේ ජීවිත තුළට දැනෙන්න නම් අලුත් ජනවරමකින් රට ගොඩනඟාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂට රට පාලනය කරන්න ජනවරමක් නැති බව ඊයේ ඔහු අවසන් වශයෙන් තේරුම් ගත්තා. ඔහුට ජනවරමක් නැත්නම් එයින් කියැවෙන්නේ ඔහු ජනාධිපති ලෙස සිටියදී පාර්ලිමේන්තුව ලබාගත් ජනවරමක් දැන් අවසන්වී ඇති බවයි. මේ පාර්ලිමේන්තුවේ ජනවරම අහෝසි වෙලා, ජනතාව වෙනුවෙන් කිසිදු තීන්දු තීරණයක් ගැනීමේ හැකියාවක් නැහැ. ජනතාව කැමති පිරිසකට අලුත් ජනවරමක් ලබාගන්න ඕනෑ. අපි දැන් දකින්නේ මැතිවරණයකට වැඩි කලක් ගත වුණොත් මේ අර්බුදයේම තවදුරටත් ගිලාබහින බවයි. මේ පාලකයන් නැවත නැවත ජනතාව මුලාකරමින් ඉදිරියට යනවා. ඒ නිසා ඉතා කෙටි කාලයකට තාවකාලික පාලනයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා.