26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්පොදු ජන අරගලය ප්‍රහාරවලින් නවත්වන්න බැහැ-ටිල්වින් සිල්වා

පොදු ජන අරගලය ප්‍රහාරවලින් නවත්වන්න බැහැ-ටිල්වින් සිල්වා

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස කවුරුත් පිළිගන්න ඕන නැහැ. ඔහු සේවය කරන්නේ රාජපක්ෂලාට. රටප
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් – ටිල්වින් සිල්වා කියයි.

රාජපක්ෂවරුන්ගේ කොන්ත්‍රාත් ක්‍රමයට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහගේ නියෝග මත ගෝල්ෆේස් අරගලකරුවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී, සාධාරණ අරගලය මර්දනකාරිත්වයකින් අහෝසි කරන්න ඔහු මුල සිටම උත්සාහ කර, එහි එක පියවරක් ලෙස ඊයේ රාත්‍රියේ ම්ලේච්ඡ ප්‍රහාරයක් දියත් කළා. විශාල ප්‍රමාණයකට තුවාල සිදුකර, දහයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකු රඳවා තබාගැනීම නිසා එළිවෙන තුරු සොයාගන්න බැරි වුණා. පහර කෑමට ලක්වූ අය අතර, නීතිඥවරයෙකුත් ඉන්නවා. ජනමාධ්‍යවේදීන් ඉන්නවා. ඔවුන්ට පහරදී එතැන තිබුණු දේවල් කඩාබිඳ දැමීමේ තුච්ඡ ප්‍රහාරය ජාතික ජන බලවේගය හෙළාදකිනවා. මේ තත්වය වහාම පාලනය කළ යුතු බව අපි ජනතාවට අවධාරණ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පසුගිය කාලය පුරා අරගලයේ සිටි ජනතාව මේ තත්වය පරාජය කරන්න වහාම පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ ලැහැස්ති වෙන්නේ ලේ මතින් ගොස් රාජපක්ෂලාගේ අරමුණු ඉටුකරන්න. රාජපක්ෂලාට හෝ රනිල් වික්‍රමසිංහට ඒ හැකියාව නැති බව අපි හොඳටම දන්නවා.

අරගලය අනිවාර්යයෙන්ම ඉස්සරහට යනවා. ගෝල්ෆේස් එකට ප්‍රහාරය එල්ල කර ජනතා විරෝධය අවසන් කරන්න උත්සාහ කරනවා නම්, ඒක එහෙම වෙන්නේ නැහැ. ගෝල්ෆේස් එක අරගලයේ එක කේන්ද්‍රස්ථානය වුණාට රටපුරාම ජනතාව තුළ අරගලය තිබෙනවා. රටපුරාම තිබෙන පොදුජන අරගලය මර්දනයෙන් නවත්වන්න බැරි බව අපි පැහැදිලිව කියනවා. කුමන්ත්‍රණකාරී, කොන්ත්‍රාත් ක්‍රමයකින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගත් පසු මර්දනය දියත් කරන්න පෙර අරගලකරුවන් අත්පත් කරගත් ස්ථානවලින් ක්‍රමාණුකූලව ඉවත් වෙමින් සිටියා. එවන් පිරිසකටයි මේ ප්‍රහාරය එල්ල කළේ. එය මුළු රටක් සහ ලෝකයක් විසින්ම හෙළාදැකිය යුතුයි. රනිල් වික්‍රමසිංහගේ පළමු මෙන්ම අවසන් ප්‍රහාරය බවට මෙය පත්කර ගත යුතුයි. ජනවරමක් නැතිව පිනට අගමැතිකම ලැබී රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් ජනාධිපතිකමක් ලබාගෙන රනිල් විසින් රකින්නේ ජනතාව නොවෙයි. රාජපක්ෂලායි. ඔහුට ජනාධිපතිකම දුන්නේ ජනතාව නෙවෙයි, රාජපක්ෂලායි. ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කියලා අපේ රටේ කවුරුත් ගණන් ගත යුතු නැහැ. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියත් ඔහුට ජනවරමක් තිබුණා. රනිල් වික්‍රමසිංහට දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැරි වුණා. රනිල් වික්‍රමසිංහ සේවය කරන්නේ අරගලය නිසා තනතුරු අත්හරින්න සිදුවුණු, ඔටුනු ගැලවුණු රාජපක්ෂලාට. ඔවුන්ට ඕනෑකම තිබෙන්නේ අරගලකරුවන්ගෙන් පළිගන්න. ඒ කොන්ත්‍රාත්තුව භාරදෙන්නේ රනිල් වික්‍රමසිංහට.

රනිල් වික්‍රමසිංහ හැමදාමත් මහපොළොවේ ජීවත් වුණු කෙනෙක් නොවෙයි. දැන්වත් මහ පොළොවේ තිබෙන මහා ජනතා විරෝධය තේරුම්ගෙන නැහැ. අවුරුදු පහකට පත්වුණු ජනාධිපති අවුරුදු දෙකහමාරෙන් පළවා හැරි ජනමත තේරුම් නොගෙන හදිසි නීතිය පනවා හමුදාව යොදවා තිබෙනවා. බියවද්දමින්, හමුදාව යෙදවීමේ උපක්‍රමය, රනිල්ට වඩා හොඳින් ගෝඨාභය රාජපක්ෂ ක්‍රියාත්මක කළා. දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයක් ඉදිරියේ එයින් පීඩාවට පත්වුණු, මහාජන විරෝධයක් ඉදිරියේ සෙල්ලම්දාන එක මොළේ කළඳක්වත් තිබෙන නායකයෙක් කළ යුතු දෙයක් නොවෙයි. ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර සොයනවා වෙනුවට බියවද්දා අරගලය මර්දනය කරන්න උත්සාහ කරනවා නම්, ඒ කිසිසේත්ම සාර්ථක නොවන බව නැවත අවධාරණය කරනවා. කිසිකෙනෙක් බය නැහැ. බය වෙන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන පාලනයක් පිහිටුවා ගන්නා තෙක් මේ සටන ඉදිරියට ගෙනයන්න ජාතික ජන බලවේගය දැවැන්ත මැදිහත්වීමක් කරනවා.

තමන්ගේ සතුරන් ඉන්නේ කොතැනද හරියටම ප්‍රශ්නය මොකක්ද කියලා ජනතාව තේරුම් ගත යුතුයි. ජනතාව විසින් මන්ත්‍රී ධුරයක්වත් නොදුන් රනිල් වික්‍රමසිංහව මේ රටේ ජනාධිපති කළේ, රාජපක්ෂවාදී පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමයි. රනිල් වික්‍රමසිංහ විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් ජනමතයට පටහැනියි. මහජනතාවගේ කැමැත්තකින් තොරව රනිල් වික්‍රමසිංහ අගමැති ලෙසත්, ජනාධිපති ලෙසත් පත්කළ ජනවරම විකෘති කළ පාර්ලිමේන්තුව වෙනුවට ඇත්ත ජනමතය නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මේ සංයුතිය තියාගෙන අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. ජනමතය නියෝජනය වෙන සැබෑ පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමෙන් තොරව අඟලක්වත් ඉස්සරහට යන්න බැහැ. දැන් රනිල් එළවන සටනක් විතරක් නොවෙයි මේ පාර්ලිමේන්තුවත් එක්කම එළවන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි එක්ව සටන් කළ යුතුව තිබෙනවා. එතෙක් මේ අරගලය ඉදිරියට යනවා. රනිල් වික්‍රමසිංහ, ගෝඨාභය රාජපක්ෂ ඉගෙන ගත් පාඩම් ඉගෙන ගන්න වෙනවා. ඒ වෙනුවෙන් අපේ අරමුණු, සටන් පාඨ හරියටම තේරුම් අරගෙන අරගල කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. හමුදාව, පොලිසිය කියන්නෙත් මේ රටේ පුරවැසියෝ. රටක්ම එරෙහිව සිටිද්දී හමුදාව, පොලිසියට මේක ආරක්ෂා කරන්න බැහැ. අලුත් අදියරකින් සටනක් පටන් ගන්න ඕනෑ. එතෙක් අත්අඩංගුවට ගත් හැමදෙනාම වහාම නිදහස් කරන ලෙසත් ඒ වෙනුවෙන් අරගල කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments