22 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorizedඅරගලකරුවන්ගේ පිහිටෙන්ම ජනපති වූ රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි!

අරගලකරුවන්ගේ පිහිටෙන්ම ජනපති වූ රනිල් අරගලකරුවන්ටම පහරදීම තරයේ හෙළා දකිමි!

අරගලකරුවන් විසින් රාජපක්ෂ තුන් කට්ටුව බලෙන් පහ කර ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කළ නිසාවෙන් තනි මන්ත්‍රී කෙනෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට හැකිවූ බවත් එම අරගලකරුවන්ටම මේ ආකාරයට මිලේච්ඡ හමුදා හා පොලිස් ප්‍රහාරය එල්ල කිරීම තරයේ හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ පිළිබඳව පවසා සිටි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා…..

“මෙහි වගකීම අනිවාර්යයෙන්ම වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතා එක දවසින් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියට, ලිබරල් නායකයෙක් හැටියට අවුරුදු හතළිස් පහක ඉතිහාසයේ තිබුණු පිළිගැනීම එක දවසෙන් නැති කරගෙන, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන් සියලුදෙනාම තරහ කරගෙන, ඉමහත් අපකීර්තියට පත්වීමක් තමයි මේ සිද්ධ වුණේ.
මේ සිදුවීම සහ මැයි හයවෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාව බලයට ගෙනාපු රාජපක්ෂ පවුලේ ඒ මැරවරයින් එල්ල කළ ප්‍රහාරය අතර කිසිම ආකාරයක අසමානකමක් නැහැ. ඒ දෙකම එක ම සිදුවීමක්.

ඇත්තටම මේ මොහොතේ ඇයි මේ අරගලය මතුවුනේ? රනිල් වික්‍රමසිංහ මහතා මතක තබා ගත යුතුයි ඔහු පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයෙක් හැටියට මේ ජනාධිපති ධූරය දක්වා එතුමා පැමිණියේ. මේ අරගලකරුවන් විසින් රාජපක්ෂ පවුල බලයෙන් පහ කිරීම නිසයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මේ තුන් කට්ටුව බලෙන් පහ කරලා දාලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට මං පෙත් විවර කරපු නිසයි.

අරගලකරුවන් අතර පොඩි පොඩි ප්‍රශ්න, ප්‍රචණ්ඩත්වයේ ලක්ෂණ තියෙන්න ඇති. නමුත් මේ මාස හයක පමණ කාලයක් ලංකාවේ මිනිස්සු පෙලෙන ප්‍රශ්න, කිරිපිටි නැතුව අඬන දරුවෝ එක්ක දුක් වේදනා විඳින අම්මාවරු ඉස්පිරිතාලෙට ගියහම, ඒ වගේම බෙහෙත් ශාලාවට ගියහම, බෙහෙත් නැතුව දුක් විඳින මිනිස්සු, පෙට්‍රල් ටික නැතුව, ඩීසල් ටික නැතුව, භූමිතෙල් ටික නැතුව, දුක් විඳින, මේ රටේ සාමාන්‍ය ජනතාව ආදායම් අහිමි වෙච්ච ගොවියෝ, ධීවරයෝ ඇතුළු මේ රටේ දුක් විඳින ජනතාව මේ සෑම කෙනෙක්ගෙම වේදනාව, වෛරය අද උඩු දුවලා තියෙන අවස්ථාවක සහ ඔවුන්ට තමන්ගේ අනුකම්පාව, සහකම්පනය අනිවාර්යෙන්ම පෙන්විය යුතු මොහොතක මේ පෙන්නලා තියෙන දුෂ්ටත්වය, මේ පෙන්නලා තියෙන අසීලාචාරත්වය ඉතාමත්ම පිළිකුල් සහගතයි.

ඒ වගේම මේ රට පක්ෂ අතර එකමුතුවක් ඇති කරගෙන, සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාගෙන, ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් පුළුල් කරගෙන, ලෝකයේ ආධාර දෙන ආයතන වලට අත දිගු කරන්න ගිය ඒ සෑම දෙයක්ම මේ වනවිට කෝපයෙන්, ඒ වගේම අපකීර්තිමත් ආකාරයට තරහ කර ගැනීමක් බවට පත්වෙලා. මේය කිසිසේත්ම රටට උචිත තත්වයක් නෙවෙයි.

ඒ වගේම මේ සාමකාමී අරගලකරුවන් ඇත්තටම ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ගේ හිටපු ඇතැම් කොටස් මොන පුරාජේරු කතා කිව්වත් බහුතර ජනතාව ඒ අරගල භූමියෙන් බැස යමින් හිටියේ. ඔවුන්ව සාමකාමී සාකච්ඡා මාර්ගයකින් ඉවත් කර ගැනීමට ඕනෑවටත් වඩා ඉඩ තිබුණා. එහෙම තිබියදී ඔවුන්ට එලව, පහර දෙන්න ආරක්ෂක අංශ යොමු කිරීම මගින් තුවක්කු බලය පාවිච්චි කිරීම මගින් පෙන්නලා තියෙන්නේ අවසානයේ මහජනයාව මේ ආකාරයටම මේ අන්තවාදී කල්ලිවලට තටු දෙන්නද? ආයුධ සන්නද්ධ විප්ලවයක් ගැන සිහින දකින බලවේග වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේගවලට තටු දෙන්නද කියන එක අපි මතක තබාගත යුතුයි. මේ රටේ මෙවැනිම ආකාරයේ මර්ධනයන් දියත් කරපු අවස්ථාවල, උතුරෙත්, ඒ වගේම දකුණෙත් මේ හැම තැනකම අපි දැකපු දේ තමයි, ආයුධ අතට අරගත්ත ප්‍රතිවිරෝධතාකරුවන් ඇවිල්ලා තිබිච්ච තත්වෙ තවත් නරක් කරගෙන තවත් බිහිසුණු අගාධයකට ගමන් කරලා දහස් ගණන් ඝාතනය වෙලා ඒ වගේම දස දහස් ගණන් විදේශගත වෙලා ඒ වගේම මුළුමනින්ම පරම්පරා ගානක ජීවිත අඳුරේ තැබීම. ඒ නිසා අද අඳුරු දිනයක් ඒ අඳුරු දිනයේ ප්‍රජාතන්ත්‍රවාදය කරා ගමන් කිරීමට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියලුම දෙනාට කොන්දේසි විරහිතව එකට එකතු වෙන්නෙයි කියලා අපි ඉල්ලා හිටිනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments