22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලබන 25 විශේෂ ඩෙංගු මර්දන දිනයක් වේ.

ලබන 25 විශේෂ ඩෙංගු මර්දන දිනයක් වේ.

මේ වර්ෂයේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් 43000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දේ. ජුලි මාසයේ 21 වන විට රෝගීන් 8000ක් වාර්තා වී ඇති බවත් මෙම තත්වය දිගටම පැවතුනහොත් ඩෙංගු අධි වසංගත තත්වයක් වර්ධනය විය හැකි බවට ඔහු අනතුරු ඇඟවයි.
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා අත් සහ පා ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම, දහවල් කාලයේ ශරීරය නිරාවරණය වන කොටස් සඳහා මදුරු විකර්ෂක භාවිතය, නිදා සිටින විට (විශේෂයෙන් ළමුන් සහ ගර්භණී කාන්තාවන්) මදුරු දැල් භාවිතය, සහ විශේෂයෙන්ම ඩෙංගු මදුරුවා බෝවන ජලය එක් රැස්වන ස්ථාන ඉවත්කර පිරිසිදුව තබා ගැනීම මගින් ඩෙංගු රෝගය ඉතා පහසුවෙන් වළක්වා ගත හැක.
කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව රජයේ සහ පෞද්ගලික ආයතන, පාසල්, ඉදිකිරීම් පරිශ්‍ර, කර්මාන්ත ශාලා සහ පොදු ස්ථාන මදුරුවන් පහසුවෙන් බෝ වන ස්ථාන ලෙස හඳුනාගෙන ඇත. මේ සියලු සාධක සැලකිල්ලට ගෙන ඩෙංගු රෝගය ව්‍යාප්තිය පාලනය සඳහා 2022 ජුලි 25 සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
මෙදිනට සියලු රජයේ සහ පෞද්ගලික ආයතන කාර්ය මණ්ඩල පැයක කාලයක් තමා සේවය කරන ආයතනය ඇතුළත සහ බාහිර පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන විනාශ කිරීමත්, එම පරිසරය ඉදිරියට පිරිසිදුව පවත්වා ගැනීමත්, සහ වග කිව යුතු නිළධාරියකු යටතේ කමිටුවක් පත්කර ඩෙංගු මර්දන කටයුතු කළ යුතු බවත් වෛද්‍ය ගුණවර්ධන මහතා දන්වා සිටියි..
ක්ෂේත්‍ර මට්ටමේ ඩෙංගු මර්දනය සඳහා අභියෝග රැසක් පවතී. වර්තමානයේ රටේ පවතින තත්වය හමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කණ්ඩායම්වලට වැඩ බිම් සහ නිවාස පරික්ෂාව සිදුකළ නොහැකි බවත්, දුම් ගැසීම වැනි කාර්යයන් ඉතාමත් දුෂ්කර බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ඔබගේත් ආදරණීයන්ගේත්, අසල්වැසියන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් අවට පරිසරය පිරිසිදු කර ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම රට වැසියන් ලෙස අප සැමගේ සාමූහික වගකීමක් මෙන්ම ජාතික මෙහෙවරක් බව වෛද්‍ය වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments