ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සඳහා චීනය විනිවිදභාවයකින් තොරව ණය ලබාදීම, ශ්‍රී ලංකාව ගිලගෙන ඇති වත්මන් අර්බුදය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් බවට ඊයේ නවදිල්ලි නුවරදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකානු ඒජන්සියේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සිදුකළ ප්‍රකාශයට චීනය ප්‍රතිචාර දක්වා තිබේ.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලිජියෑන් මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත්තේ චීන ආයෝජන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වේගවත් සහ උසස් මට්ටමකට පැමිණ ඇති බවයි.
චීන – ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව ,ශ්‍රී ලංකාව විසින් සෑම විටම මෙහෙයවනු ලැබුවේ, විද්‍යාත්මක සහ සැලසුම් සහගතව බවයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
ඔහු අවධාරණය කළේ , මෙම ආයෝජන සඳහා කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීම් සිදුනොවනු බවයි.
චීනය ලබා දී ඇති විදේශ ණය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට සහ බහු පාර්ශ්වික සංවර්ධන බැංකුවලට වඩා බෙහෙවින් අඩු අගයක් බව සාඕ ලිජියෑන් මහතා පෙන්වා දෙයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ, ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අවශ්‍යතාවය අනුව ණය ලබා දුන්නේ, අඩු පොලියට සහ දිගුකාලීව කල් පිරීමේ පදනම යටතේ බවයි.
කෙසේ වෙතත් අමෙරිකාව සිදුකළ පොලී අනුපාත ඉහළ දැමිම වැනි දෑ හරහා ශ්‍රී ලංකාව වැනි බොහෝ සංවර්ධිත රටවලට බලපෑම් එල්ල වූ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක සාඕ ලිජියෑන් මහතා පවසා තිබේ.
මේ හරහා සංවර්ධනය වෙමින් පවතින රටවල් දැඩි ආර්ථික පීඩනයකට ලක් වූ බව පවසන සාඕ ලිජියෑන් මහතා පෙන්වා දී ඇත්තේ, අමෙරිකාව විටින් විට පනවන සම්බාධක තුන්වැනි ලෝකයේ රටවලට අහිතකර ලෙස බලපාන බවයි.