26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeසමාජසේවාශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ වෛද්‍ය ආධාර වශයෙන් ලැබෙන පරිත්‍යාග ගැලපීම සඳහා...

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ වෛද්‍ය ආධාර වශයෙන් ලැබෙන පරිත්‍යාග ගැලපීම සඳහා Elixir වෙබ් අඩවිය ආරම්භ කරයි.


මෙය රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය සැපයුම්-පරිත්‍යාග ගැළපීමේ වේදිකාවයි.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය සැපයුම්-පරිත්‍යාග ගැළපීමේ වේදිකාව නිල වශයෙන් දියත් කිරීම 2022 ඔක්තෝබර් 19වන දින සිදුවිය. Elixir Platform ලෙස හැඳින්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අනුග්‍රහය යටතේ ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යන, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයකි. මෙමගින් රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල හිඟවී ඇති ජීවිතාරක්ෂක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් අවශ්‍යතා සඳහා ලියාපදිංචි වීමට ඉඩ සලසයි. මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීමට කැමති පරිත්‍යාගශීලීන් සඳහා Elixir විසින් තනි විකාශන මුහුණුවරක් ද සපයයි. සියලුම අවශ්‍යතා සහ පරිත්‍යාග ඒකාබද්ධව බාධාවකින් තොරව එකම මාධ්‍යක් ඔස්සේ පැමිණීම හේතුවෙන් Elixir මගින් කාර්යක්ෂමව අවශ්‍යතා සහ පරිත්‍යාග ගැලපීමට හැකිවේ.
මීට අමතරව, ආයතන විශාල සංඛ්‍යාවක් තම අවශ්‍යතා ලියාපදිංචි කර තිබීමෙන්, ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට තොග ඇණවුම් ස්ථානගත කිරීමේදී හැකි උපරිම මිල ගණන් ලබා ගැනීම සලකා බැලීමට මෙය ඉඩ සලසයි. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එහි ස්වේච්ඡා සේවකයන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා වෛද්‍ය සැපයුම් අංශය සමඟ හවුල් වී සැලසුම්සහගතව ක්‍රියාත්මක කරන ලද Elixir වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගී ඇති ඖෂධ හිඟය ජය ගැනීමට උපකාර වන දැවැන්ත සහයෝගීතා ව්‍යාපාරයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා පැවසුවේ, “පළමුව, ශ්‍රී ලංකාවට ආධාර කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයන්, පුණ්‍යායතන, සංස්ථා සහ රජයන් ඇතුළු සියලුම පරිත්‍යාගශීලීන්ට අපගේ අවංක කෘතඥතාව පළ කළ කර සිටිනවා. පරිත්‍යාග විශාල ප්‍රමාණයක් සමඟ, අපගේ පද්ධතිය හරහා වෛද්‍ය අවශ්‍යතා සොයා ගැනීම, සපුරාලීම සහ හදිසි අවශ්‍යතා මත ප්‍රමුඛත්වය දීම අභියෝගාත්මක වුණා. අනුපිටපත් ගැනීම හේතුවෙන් සැපයුම්වල අතිරික්තයක් නිර්මාණය වීම, ආර්ථික මිනුම් භාවිතා නොකිරීම හේතුවෙන් අධික පිරිවැය, පරිත්‍යාග සඳහා අභ්‍යන්තර තරඟකාරිත්වය සහ විනිවිදභාවය අඩු වීම ඇතුළු ගැටළු රැසක් මතු වී ඇති නිසා මේ සියල්ලටම විසඳුම වශයෙන් අපි Elixir වෙබ් අඩවිය හඳුන්වා දෙනවා. සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සමස්ත සැපයුම් දාමය පුරා විනිවිදභාවය සහ වගවීම මෙයින් සපයනවා. KPMG විසින් Elixir වෙබ් අඩවිය මාසිකව විගණනය වෙනවා. අවසන් වශයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන්, මෙම ප්‍රයත්නයේ සියලුම ස්වේච්ඡා සේවකයන්ට සහ හවුල්කරුවන්ට ස්තූති කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” එමෙන්ම Elixir සැබවින්ම සුවිශේෂී ජයග්‍රහණයක් වන බවත් ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජය ගැනීමට සැමවිට සහය දැක්වීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් වෛද්‍ය මහේෂ් ගුණසේකර මහතා පවසා සිටියේය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අර්බුදකාරී කාලසීමාව තුළ හැකිතාක් සහාය ලබා දීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සමඟ ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. ඉතා මෑතක දී ජාත්‍යන්තර රතු කුරුස කමිටුව විසින් ජාතික රුධිර බැංකුව වෙත රුධිර බෑග් 10,000 ක් පරිත්‍යාග කළ අතර, සිංගප්පූරු රතු කුරුස සමාජයද ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හරහා ඇමෙරිකානු ඩොලර් 50,000 කට ආසන්න වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇත. ශ්‍රී ලංකා රතු කුරුස සමාජය Elixir හි සාර්ථකත්වය මත පදනම්ව තව දුරටත් ඉල්ලුමට සමාන පරිත්‍යාග ගැලපීමේ තාක්ෂණය පුළුල් කිරීමට නව ක්‍රමෝපායක් අධ්‍යයනය කරමින් සිටී.
ජීවිතාරක්ෂක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් මූල්‍යමය හෝ ද්‍රව්‍යමය වශයෙන් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පරිත්‍යාගයක් කිරීමට කැමති ඕනෑම පුද්ගලයෙකුට, සංවිධානයකට හෝ ආයතනයකට ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා https://elixir.redcross.lk වෙත පිවිසිය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments