ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ යැයි කියමින් අරගලයට සම්බන්ධ වූ පිරිස් අත්අඩංගුවට ගැනීම සිදුකරනවා. ඊට අමතරව පොලිස් ආඥා පනතේ 77 වගන්තිය දඩමීමා කරගෙන පුද්ගලයින් පොලීසියට කැඳවීමට කටයුතු කර තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පුද්ගලයින්ව කැඳවූ ලේඛන ගණනාවක් අප සතුව තිබෙනවා. ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළින් ත්‍රස්තවාදියා කියන්නේ කවුදැයි යන්න අර්ථ නිරූපණය කර නැහැ. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල කරනවා. ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ආදරයෙන් කරගෙන ගිය අරගලය හේතුකොටගෙන එවකට හිටපු ජනාධිපතිට පලා යන්න සිදුවුණා. ඊට පස්සේ ජනතා පරමාධිපත්‍ය බලයට පටහැණිව කටයුතු කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කර ගත්තා. අසීමිතව පැන නගින්නාවූ ජනතා විරෝධය හමුවේ කුමන උපක්‍රම පාවිච්චි කර හෝ බලය ලබාගැනීමේ හැකියාව ආරක්ෂා කර ගන්න රනිල් වික්‍රමසිංහට හැකිවී නැහැ. ඒ බය නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අයුතු විදිහට භාවිතා කර, ජනතාව බියවද්දන්න කටයුතු කරනව
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ පවත්වාගෙන යන අතර ජනතාව අම්පාර, මොනරාගල, කැබිතිගොල්ලෑව වැනි ඈත ප්‍රදේශවල සිට බියෙන් සැකයෙන් කැඳවා ගැනීම සිදුකරනවා. පොහොට්ටුවේ පෙර තත්වයේ හැටියට දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අයිතිවාසිකම්වලට විරුද්ධව දිගටම ක්‍රියා කළා. විශේෂයෙන්ම දෙමළ සහ මුස්ලිම් ජනතාව තමන් උපන් භූමියේ ත්‍රස්තවාදීන් ලෙස නම්කරාවි දැයි බියක් පැන නගිනවා. දැන් ඉන්නේ 2015-2019 කාලයේ සිටි රනිල් වික්‍රමසිංහ නොවෙයි. මහින්ද රාජපක්ෂ විසින් නම් කළ නාමල් රාජපක්ෂ විසින් ස්ථීර කළ රාජපක්ෂ පවුල විසින් පුනරුත්ථාපනය කළ රනිල් වික්‍රමසිංහ කෙනෙක් අද ඉන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනීතිකව පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නේ මේ නිසයි. විවියන් ගුණවර්ධන නඩුවේදී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ ආකාරයට රටේ මූලික නීතිය උල්ලංඝනය කරමින් දැන් කටයුතු කරගෙන යනවා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු කිසිසේත් මායිම් නොකර පොලිස් නිලධාරීන් මෙහෙයවීමට රනිල් – රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා. මේ වන විට වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හාමුදුරුවෝ දින 70ක් ඉක්මවා රඳවාගෙන සිටියත් ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදියෙක් කියන අර්ථ නිරූපණයට ඇතුළත් කළ හැකි කිසිවක් හඳුනාගන්න නොහැකි වී තිබෙනවා. මෙවැනි තත්වයක් තුළ ජනතාවට සිදුවන අගතිය වෙනුවෙන් පෙනී සිටීමට ජාතික ජන බලවේගයේ නියෝජිතයන් හැටියට අපි ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට පටහැණිව යමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, පොලිස් ආඥා පනත යටතේ, පුරාවිද්‍යා පනත, මහජන පීඩා පනත වගේ පනත් උපයෝගී කරගෙන ජනතාව බියට පත්කරමින් ගෙනයන ක්‍රියා මාර්ග අපි දැඩිලෙස හෙළා දකිනවා. අගතියට පත්වෙන අය වෙනුවෙන් ඕනෑම මොහොතක අපි පෙනී සිටින බව අවධාරණය කරනවා.
අනීතිකව කටයුතු කරන නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවනවා
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ උප සභාපති – නීතිඥ සුනිල් වටගල
කිරුලපන පිහිටා තිබෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට දිවයිනේ නන්දෙස සිටින පුද්ගලයින් කැඳවීමේ ලිපි යවා තිබෙනවා. තමන් අයත් වන ප්‍රදේශයේ පිහිටි පොලීසියකට කැඳවීමක් සහ ත්‍රස්ත විමර්ශන ඒකයට කැඳවීම තුළින් මානසික මට්ටමත් අදාළ පනතත් එකිනෙකට වෙනස්. ආණ්ඩුවේ අරමුණ අපට හංගන්න බැහැ. ඇත්ත ප්‍රශ්නවලට ආණ්ඩුව උත්තර නොදීමෙන් සමාජය ගැන පොදුවේ හිතන මිනිසුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, වෘත්තීය සමිති නායකයන් සහ සාමාජිකයන් නැගී සිටිනවා. පවතින ප්‍රශ්නවල විසඳුම් නොදෙන තත්වය මත ජනතාව පාරට බහිනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඉන්ධන, දැරිය හැකි මුදලකට ලබාදෙනවා වෙනුවට ඇප නොදෙන පන්නයේ ක්‍රියාමාර්ග ආණ්ඩුව තෝරා තිබෙනවා. පොදු දේපළ පනත, පුරාවිද්‍යා පනත අත්හදා බලා අසාර්ථක වූ තැන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයක් රඳවා තබාගෙන ක්‍රියාකිරීම සාර්ථක කරගන්න උත්සාහ කරනවා. වසන්ත මුදලිගේ ශිෂ්‍ය නායකයා සිදුකළේ මොන ත්‍රස්තවාදී ක්‍රියාවක්දැයි අපි ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුවේ ත්‍රස්තවාදීකම වඩාත් හොඳින් පැහැදිලි වූ අත්දැකීමක් මට තිබෙනවා. වසන්ත මුදලිගේ සම්මුඛ විය හැක්කේ නීතිඥ මහත්වරුන්ට පමණක් බව ප්‍රචාරය කර තිබුණා.
ඒ අනුව 28වන දින මම ලිඛිතව දැන්වූවා 29වන දින වසන්ත මුදලිගේ සහෝදරයාව හමුවීමට ඉඩ දෙන්න කියලා. පසුදින මමත්, සමාජවාදී තරුණ සංගමයේ එරංග ගුණසේකරත් ත්‍රස්ත විමර්ශන ඒකකයට ගියා. නමුත් එතනදී දැන්වූයේ නිසි අවසරයක් තවමත් ලැබී නැති බවයි. නමුත් මම යැවූ ලිපියට අද වෙනතුරුත් නිසි පිළිතුරක් ලබාදී නැහැ. ඊට පස්සේ 011 233 5930 සහ 071 840 1291 යන ත්‍රස්ත විමර්ශන අංශයේ දුරකථන අංකවලට දවසක් පුරාම ඇමතුම් ගත්තා. 52වතාවක් ජංගම දුරකථනයට ගත්තත් කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. නීතිඥවරයෙකුට අත්අඩංගුවේ සිටින සැකකාරයෙක් හමුවිය නොහැකි නම් මේ රටේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ත්‍රස්ත පනත යටතේ රඳවාගත් එක් අයෙකුට සාක්ෂි නැති බව සඳහන් කරමින් මුදා හැරියා. පරීක්ෂණය සාධාරණව සිදුවෙන බව ඔප්පු කරන්න ඒ පුද්ගලයා මුදා හැරියා. සැප්තැම්බර 24වනදා සමාජවාදී තරුණ සංගමය පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාළියට එල්ල කළ නීති විරෝධී ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ සෑම පොලිස් නිලධාරියෙකුටම එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරක් නඩු තුනක් දාලා තිබෙනවා. ඊට අමතරව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම නිසා නොතීසි නිකුත් කර තිබෙනවා. මේ නිසා ආණ්ඩුවේ පොලීසිය ටිකක් බයවෙලා ඉන්නේ.