22.5 C
Sri Lanka
Monday, August 11, 2025
Homeදේශීය පුවත්සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සොයා මත්පැන්හල් වටලයි එමෙන්ම මේ වසරේ සිය ඉතිහාසයේ...

සුරාබදු දෙපාර්තමේන්තුව ව්‍යාජ ස්ටිකර් සොයා මත්පැන්හල් වටලයි එමෙන්ම මේ වසරේ සිය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් බිලියන 200 ඉක්මවන ලැබු ආදායම් ඉලක්කයක්

දිවයින පුරා පිහිටි මත්පැන්හල් වල අළෙවියට තබා ඇති මත්පැන් බෝතල මත ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර අළවා තිබීම සම්බන්ධයෙන් ලද තොරතුරු මත සුරාබදු මූලස්ථානය විසින් දීප ව්‍යාප්තව හදිසි වැටලීම් මාලාවක් ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව යොදවන ලද විශේෂ වැටලීම් කණ්ඩායම් විසින් මේ වන විටත් තඹුත්තේගම, තලාව, නෙළුබෑව සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පිහිටි මත්පැන් හල් වල අළෙවියට තබා තිබූ ආරක්ෂිත ස්ටිකර අලවා නොමැති මත්පැන් බෝතල සහ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර බවට සැක කරනු ලබන ස්ටිකර අලවන මත්පැන් බෝතල මෙන්ම පරිගණක පද්ධතිය මගින් නිවැරැදි දත්ත ලබා නොදෙන හෝ වලංගු නොවන (INVALID) බව දැක්වෙන මත්පැන් බෝතල රාශියක් අත් අඩංගුවට ගෙන තිබේ.

අදාළ විමර්ශනවලින් අනතුරුව එම මත්පැන් හල් සහ එම මත්පැන් බෙදාහරින ලද පුද්ගලයන්ට එරෙහිව උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙයි.

මත්පැන් වර්ගවල නිර්ව්‍යාජ භාවයත්, ප්‍රමිතියත්, අදාළ බදු ගෙවන ලද බවත් සහතික කරගැනීමේ අරමුණින් ක්‍රියාත්මක වන ආරක්ෂිත ස්ටිකර් ක්‍රමවේදය මගහරිමින් එම පරිගණක පද්ධතිය ද නොමග යන සේ සකස් කරන ලද ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර මත්පැන් බෝතල මත ඇලවීමෙන් කූට ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී ලෙස නියමිත බදු නොගෙවා නිපදවන ලද මත්පැන් පාරිභෝගිකයන් හට අළෙවි කිරීමට සූක්ෂම ලෙස කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරු මත මෙම වැටලීම් මාලාව ක්‍රියාත්මක කෙරේ.

නියමිත ප්‍රමිතියට අනුව නිපදවන ලද බව අගවමින් නීති විරෝධී ලෙස නිපදවන ලද නිශ්චිත ප්‍රමිතියකින් තොර මත්පැන් පාරිභෝගිකයන්ට සැපයීම

විශාල බදු මුදලක් ගෙවන ලද මත්පැන් බව අගවමින් බදු නොගෙවන ලද මත්පැන් විශාල මුදලකට අළෙවි කරමින් අයුතු ලාභයක් ඉපැයීම

නීත්‍යානුකූල නොවන මත්පැන් බැවින් නියමිත පොත් තැබීමේ ක්‍රියාවලිය මගහැර සුරාබදු පමණක් නොව, VAT ඇතුඵ වෙළද බදු හා ව්‍යාපාර මත ගෙවිය යුතු සෘජු බදු ගෙවීම පැහැරහැරීම

මෙසේ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර අලවන ලද මත්පැන් දිවයින තුල බෙදාහරිනු ලබන මත්පැන් නිෂ්පාදකයින් හෝ ආනයනකරුවන් නැතහොත් වෙනත් අයවළුන් සම්බන්ධයෙන් නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත්, වැරැදිකරුවන් බවට පත්වන නිෂ්පාදනාගාර හෝ මත්පැන් අළෙවි සැල් වෙතොත් ඒවායේ බලපත්‍ර අත්හිටුවා එම ස්ථාන මුද්‍රා කිරීමටත්, බලපත්‍රධාරීන් නොවන අයවළුන්හට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමටත් කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මෙයින් අවධාරණය කර සිටියි.

මේ වසරේ සිය ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් බිලියන 200 ඉක්මවන ලද ආදායම් ඉලක්කයක් (රුපියල් බිලියන 217 ක්) හඹා යන සුරාබදු දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් කළමනාකරණ උපාය මාර්ගයන් මෙන්ම අවදානම් කළමනාකරණ ක්‍රමෝපායයන් ද කාලානුරූපීව හා නිරන්තරව සංශෝධනය කරමින් වර්තමානයේ රටත්, රජයත් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවන්ට සහනයක් වශයෙන් රජය අපේක්ෂිත ආදායම් ඉලක්කයන් කරා යාමට කටයුතු කරමින් සිටින මොහොතක, කූට ව්‍යාපාරිකයන් විසින් රාජ්‍ය ආදායමට එරෙහිව සිදුකරනු ලබන මෙබදු ක්‍රියාකාරකම් වලට එරෙහිව ගත හැකි සියළු නෛතික හා පරිපාලනමය පියවර ගැනීමට පසුබට නොවන බව ද සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments