අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය ලබන 23 වැනි බ්‍රහස්පතින්දා විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අනුව එම විවාදය එදින පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව අංක 2319/80 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මීට අදාළ නියෝග පළ කොට ඇත. ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම හා සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යාවශ්‍ය සේවා බවට පත් කොට තිබේ.
අනතුරුව පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබූ පරිදි පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉන්ජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතව තිබේ.
ඉන්පසු විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත.