22.6 C
Sri Lanka
Saturday, May 10, 2025
HomeTOPඅද ශ්‍රි ලංකාව පුනරුදයේ මාවතට අවතීරණ වී තිබෙනවා සියලුදෙනා එක්ව රට ඉදිරියට...

අද ශ්‍රි ලංකාව පුනරුදයේ මාවතට අවතීරණ වී තිබෙනවා සියලුදෙනා එක්ව රට ඉදිරියට ගෙන යමු-ජනපති පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පසුගිය වසරේ ජූලි මාසය වන විට රටේ තිබූ කෝලාහල, ගිනි තැබීම් මෙන්ම රාජ්‍ය බංකොලොත්භාවය සමඟ බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය මාස 8 ක් යන විට ආපසු හැරවූ සාර්ථක කතාවක් බවට පත්කිරීමට හැකි වූ බව සඳහන් කළ ජනාධිපතිවරයා අද එය හඳුන්වන්නේ ‘Sri Lanka comeback story’ යනුවෙන් බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වලට එළැඹියද එම එකඟතා නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ඒවා අසාර්ථක වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම්ගතවීම හැර වෙනත් ක්‍රියාකාරී විකල්පයක් අද රට හමුවේ නොමැති බැවින් 17 වන මෙම අවස්ථාවේ දී පැවති දුර්වලතා මගහරවා ගනිමින් නව වැඩසටහනකට එක්විය යුතු බව පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට කිසිදු හානියක් සිදු නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමේ මෙන්ම අඩු ආදායම්ලාභි ජනතාව ආරක්ෂා කිරීමේ සමාජ සුරක්ෂිතතා ජාලය මේවන විට ක්‍රියාවට නංවා තිබෙන බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,
ආර්ථික, මූල්‍ය ප්‍රශ්න සහ අයි.එම්.එෆ් ගිවිසුම පිළිබඳව මාධ්‍ය තුළ මෙන්ම වෙනත් ස්ථානවල කරුණු ගණනාවක් මතු කර තිබුණා.
ගරු කථානායකතුමනි, 2022 ජූලි මාසයේ අපේ රටේ තිබුණේ කෝලාහල සහ ගිනි තැබීම්. ඒ වගේම රාජ්‍ය බංකොලොත්භාවය. ඒ නිසා ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වුණා. දැන් මාස 08කට පසුව ලංකාවේ ආර්ථිකය ආපසු හැරවීම පිළිබඳ තිබෙන්නේ සාර්ථක කතාවක්. අද කියන්නේ Sri Lanka comeback story යනුවෙන්. අහිමි වූ ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙනවා. දැන් එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය මම අපේක්ෂා කරනවා.

රටේ එදා පැවති තත්ත්වය පිළිබඳ මම නැවත කෙටියෙන් සඳහන් කරන්නම්. 2019 අගභාගයේ දී අපේ බදු කපාහැරිමෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක් අපට අහිමි වුණා. ඊට පසුව කොවිඩ් වසංගතය නිසා අපේ ආර්ථිකය තවත් පිරිහුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2022 පෙබරවාරි සිට, මාස 03ක් ඇතුළත 40%කින් පිරිහි ගියා. ඉන් අනතුරුව රුපියල දිගින් දිගටම පිරිහුණා. 2022 වසර පුරාම ආර්ථික වර්ධනය 7.8%කින් හැකිළි ගියා. 2022 සැප්තැම්බර් මාසයේ උද්ධමනය 70%ක් ඉක්මවන අතර, ආහාර උද්ධමනය 95%ක් තරම් ඉහළ ගියා.
මෙම පසුබිම තුළ පසුගිය ජූලි මාසයේ දී, රටේ ජනතාව දුක් විදින අවස්ථාවක සහ ඔවුන්ගේ බලාපොරොත්තු කඩවු අවස්ථාවක රට යළි ගොඩගැනීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කළ නිසා මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තා. උද්ඝෝෂණ, විරෝධතා මැද මම එම වගකීම් භාර නොගත්තා නම් රට සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මගේ ගෙදර පුස්තකාලයේ චිත්‍ර ගිනිබත් වී විනාශ වූවාට මම පසුබට වුණේ නැහැ, රට විනාශ වීමට ඉඩ නොතබා රට ගොඩගැනීමට අපි ක්‍රියා කළා.
මම කියන්න කැමතියි, ඒ කාලය වන විට ශ්‍රි ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 83.6යි. එහි විදේශ ණය ඇමරිකන් ඩොලර් බිලියන 41.5යි. දේශීය ණය ඇමරිකන් ඩොලර් බිලියන 42යි. මේ වන විට රටේ සමස්ත ණය ප්‍රභේද දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස 128%ක් බවට පත්ව තිබුණා. ද්විපාර්ශ්වික සහ පුද්ගලික ණය ආපසු නොගෙවෙන නිසා 2022 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා නොගෙවු හිඟ ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 2.7ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබුණා.
විදේශ විනිමය හිඟය උග්‍ර අතට හැරීම නිසා 2022 මැද භාගය වන විට ශ්‍රී ලංකාවට විදේශවලින් භාණ්ඩ හා සේවා ආනයනයට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. 2022 මැයි මාසයේ දී විදේශ ණයවලට අදාළ පොළිය ගෙවීමට අසමත් වුණා. මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුවුණේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.
ආණ්ඩුව එදා භාරගත් අවස්ථාවේ මට තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමග සාකච්ඡා ආරම්භ කිරීමට. ඒ අනුව සැප්තැම්බර් මාසයේ දී විස්තිර්ණ ණය පහසුකම් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟත්වයකට පැමිණියා.
එම විස්තීර්ණ ණය පහසුකමට ප්‍රධාන ප්‍රතිසංස්කරණ 06ක් ඇතුළත්ව තිබෙනවා.
(අ) ආදායම් පාදක රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම
මේ යටතේ රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ, සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම හා රාජ්‍ය අංශයේ ව්‍යාපාර ප්‍රතිසංස්කරණ ඇතුළත්
(ආ) රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම
(ඇ) මූල්‍ය ස්ථායිතාව ප්‍රතිස්ථාපනය කිරීම, නම්‍ය විදේශ විනිමය අනුපාත ක්‍රමයක් යටතේ විදේශ සංචිත ගොඩනැගීම තහවුරු වන අන්දමට බහුවිධ ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම.

(ඈ) මූල්‍ය අංශයේ ස්ථායිතාව තහවුරු වන ආකාරයට අදාළ ප්‍රතිපත්ති හා ප්‍රතිසංස්කණ ක්‍රියාත්මක කිරීම
(ඉ) දූෂණය පාලනය කිරීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම – මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊට අදාළ කෙටුම්පත සභාගත කරනු ඇති.
(ඊ) ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම
මේ අනුව තමයි අද අපි විදේශ ණය හිමියන්ගෙන් මූල්‍යකරණය සහතිකය ලබාගත්තේ. විශේෂයෙන්ම පැරිස් සමාජය සහ ඉන්දියාව එක්ව කටයුතු කර අපට එය ලබා දුන්නා. ඉන්දියාව තමයි පළමුව එය ප්‍රකාශයට පත් කළේ. ඒ පිළිබඳ අපි ස්තූතිවන්ත වෙනවා. ‍
චීනය ඒ පිළිබඳව වෙනම කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. එසේ නම් එක පසෙකින් පැරිස් සමාජය සහ ඉන්දියාව සමග අපි සාකච්ඡා කරනවා. අනෙක් පසෙන් චීනය සමග සාකච්ඡා කරනවා. මේ සාකච්ඡාවලින් පසුව පුද්ගලික ණය හිමියන් සමග අපට සාකච්ඡා පැවැත්වීමට තිබෙනවා. මෙම ගිවිසුම නිසා අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් බිලියන 03ක් පමණ ලබන වසර 04 තුළ ලැබෙනවා. ඒ වගේම අනෙක් ආයතන හරහා අපට ඩොලර් බිලියන 07 ක පමණ මුදලක් ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ මුදල් අවශ්‍යයි.
ඒ වගේම විදේශ බැංකු සහ මූල්‍ය ආයතනවල විශ්වාසය අපි නැවත ලබාගෙන තිබෙනවා. දැනටම රට තුළ ආර්ථික ස්ථාවරභාවය ඇතිවී ගෙන යනවා. සමාජ ආරක්ෂණයට වැඩි මුදලක් ලැබෙනවා. ආයෝජකයින් ලංකාව පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.
අප 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්වල එළැඹි නමුත් අපි ඒවා සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළේ නැහැ. 17 වන අවස්ථාවේදී ස්ථාවරත්වයකට පැමිණෙන විට අපේ දීර්ඝකාලීන දුර්වලතා නැතිකර නව වැඩසටහනකට යාමට තිබෙනවා.
මෙහිදී කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා. එය අපේ ද්විපාර්ශ්වික රටවල් සමගත්, පුද්ගලික ණයහිමියන් සමගත් සාකච්ඡා කළා. මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අපට අවශ්‍යයි. අපි ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත් අපට ද්‍රවශීලතාව නැති වෙනවා. රජයට ඉදිරියට යාමට නම් රුපියල් වලින් හෝ ඩොලර් වලින් එය සිදු කර ගැනිමට වෙනවා.රජයට අවශ්‍යයි එම සේවය සඳහා මුදල් ලබා ගැනීමට.
ඒ නිසා පළමුව අපට තිබෙන්නේ විදේශ ණයකරුවන් සමග සාකච්ඡා කිරීමට. එම සාකච්ඡා ආරම්භ කිරීමට අපි දැන් බලාපොරොත්තු වෙනවා, ඔවුන් අපට දන්වා තිබෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. දැනට අවසාන තිරණයකට එළැඹිලා නැහැ. නමුත් මේ පිළිබඳ සාකච්ඡා කරමින් අපි තීරණයක් ගත යුතුයි. කොන්දේසි ඉදිරිපත් කර සාකච්ඡාවලට යා නොහැකි අතර ඔවුන් කොන්දේසි ඉදිරිපත් කර අප සමග සාකච්ඡාවලට එනවා. එහෙත් අපට වඩා පහසුයි කොන්දේසි නැතිව සාකච්ඡාවලට එක්වීම.

විශේෂයෙන්ම මෙහිදී සෑම අංශයක් පිළිබඳවම අවධානය යොමු කළයුතුයි. කිසිවෙකුට මෙහිදී හානියක් සිදු වන්නේ නැහැ. ඇතැම් බැංකු කියනවා මේකට මුහුණ දෙන්න බැහැ කියලා. මම ඔවුන්ට කියන්නේ එසේනම් ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ භාරගන්න කියලා.
කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියනවා, විවිධ කොන්දේසි ඉදිරිපත් කරන්න බැහැ. අපි පාර්ලිමේන්තුවේ දී තීරණය කරලා මොකක්ද කළයුත්තේ කියා දැනුම් දෙන්නම්. මම දැක්කා අර්ථ සාධක අරමුදල ගැන ප්‍රශ්නයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සාමාජිකයන්ට හානියක් වීමට අපි ඉඩ දෙන්නේ නැහැ මොකද එය ආරම්භ කළේ අපි.
දිළිදු ජනතාව වෙනුවෙන් අපි අවශ්‍ය වැඩසටහන් කරගෙන යනවා. ලෝක බැංකුව දැන් ඒ සඳහා මුදල් ලබා දී තිබෙනවා. ඔවුන් කියන්නේ දිය යුත්තන්ට දෙන්න, සුදුසුකම් නැති අය ඉවත් කරන්න කියලා. ඒ වැඩසටහන අපි දැන් කරගෙන යනවා. විශේෂයෙන්ම අපට අවශ්‍ය රට තුළ මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීම වගේම අඩු ආදායම්ලාභි ජනතාව ආරක්ෂා කිරීම.
ඒ නිසා අපි දැන් මේ සාකච්ඡා පටන් ගන්නවා. පැරිස් සමාජය සහ ඉන්දියාව සමග ඒකාබද්ධ සාකච්ඡාව එක වේදිකාවක පැවැත්වෙනවා. චීනය සමග සාකච්ඡා වෙනම පැවැත්වෙනවා. ඒ පිළිබඳගත යුතු පියවර මම කියන්න කැමතියි. මොකද අපිට මේ පිළිබඳ සැගවීමට කරුණු නැහැ. ඉදිරි පියවර ගණනාවක් ගත යුතුව තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි එකඟ වූ පරිදි ක්‍රියාමාර්ග 09ක් අ‍රගෙන තිබෙනවා. ඉතින් අපි එම සහනය ලබාගැනීමට ඒ අනුව සුදුසුකම් ලබනවා.
රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම
• රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ කිරීම යටතේ වැඩසටහන් ප්‍රමිතීන්ට අනුකූලව 2023 දී රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට සහාය වීම සඳහා ආදායම් ක්‍රියාමාර්ගයන්ට එළැඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
• වැඩසටහන් ප්‍රමිතීන්ට අනුකූල වන සංශෝධිත 2022 අයවැය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීම,
• 2023 විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම,
රාජ්‍ය මූල්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ
• 2018 ඉන්ධන මිල සූත්‍රය මගින් නියම කර ඇති පරිදි මාසික සිල්ලර ඉන්ධන මිල ගැළපීම ස්වයංක්‍රීය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීම,
• අර්ධ වාර්ෂික පිරිවැය ප්‍රතිසාධනය පදනම් කරගත් විදුලි මිල ගැළපීම ස්වයංක්‍රීය කිරීමට කැබිනට් අනුමැතිය ලැබීම,

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments