පිරමීඩ ජාවාරම්කරුවන් රට තුළ ‘ක්‍රිප්ටො කරන්සි – ක්‍රිප්ටො ට්‍රේඩින්’ මුවාවෙන් සිය ජාවාරම්වල නිරතවෙමින් රුපියල් කෝටි 100-200 උපයා ගනිමින් රටින් පැන ගියාට පසුව ඒ පිළිබඳව නිවේදන නිකුත් කරන වගකීම් විරහිත ආයතනයක් බවට ශ්‍රී ලංකා මහ බැංකුව පත්ව ඇති බවත් ඔවුන්ගේ එම ක්‍රියාව “අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීම” වැන්නක් විනා මේ ගැටළුවට විසඳුමක් නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.
අද(15) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ ද සඳහන් කළේය.
“අද සමාජ මාධ්‍ය ජාල යොදා ගනිමින් ‘ක්‍රිප්ටො කරන්සි – ක්‍රිප්ටෝ ට්‍රේඩින්’ ලෙස පෙන්වමින් ශ්‍රී ලංකාව තුළ ඉතා ශීඝ්‍රයෙන් පිරමීඩ ජාවාරම් පැතිර යමින් තිබෙනවා. මෙම පිරමීඩ ජාවාරම්කරුවන් කෝටි 100-200 උපයාගෙන රටින් පැන ගියාට පසුවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදන නිකුත් කරන්නේ, ‘මෙය පිරමීඩ ජාවාරමකි. ඊට හවුල් නොවන්න’ කියා. අපේ රටේ මූල්‍ය බුද්ධි අංශයක් තිබෙනවා ඒ වගේම රටේ බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතිය පිළිබඳව මහ බැංකුව නිරන්තරයෙන් සමීප අධ්‍යයනයක පසුවෙනවා. එසේ තිබියදී මේ පිරමීඩ ජාවාරම් ජයටම සිදු වෙන්නේ කෙසේද? මහ බැංකු නිලධාරීන් මේවාට සම්බන්ධද? මේ ජාවාරම් කල්තියා හඳුනාගැනීමට බැරි වන්නේ තාක්ෂණ ගැටළු නිසාද? මේවා වැළැක්වීමට නීතිමය බාධක තිබෙනවාද? මේ සියල්ල පිළිබඳව මහ බැංකුව රට හමුවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළ යුතුව තිබෙනවා.
මේ තත්ත්වය මහ බැංකු අධිපතිවරයාට නොතේරෙනවා, කියා හෝ ඔහුට මේ ජාවාරම්වලින් කොමිස් ලැබෙනවා, කියා හෝ අපි හිතන්නේ නැහැ. පොදුවේ ‘පිරමීඩ ජාවාරම්වලට හසු නොවන්න’ කීවාට ජනතාවට ඒවායෙන් ගැලවීමට බැහැ. සමාජ මාධ්‍ය, නූතන උපක්‍රම භාවිතා කරමින් සිදු කරන මේ ජාවාරම් පිළිබඳව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පුළුල් අවබෝධයක් තිබෙන වගකිවයුතු ආයතනයක් හැටියට, ඒවා කල්තියා හඳුනාගෙන මහජනයා දැනුවත් කිරීමට මහ බැංකුව කටයුතු කළ යුතුයි. එහෙම නැතුව ‘අශ්වයා පැන ගියාට පසුව ඉස්තාලය වහනවා’ වගේ කෝටි 100-200 උපයාගෙන පිරමීඩ ජාවාරම්කරුවන් රටින් පැන ගියාට පසුව නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ.
LPL පිරමීඩ අනුග්‍රහ
අපි දැක්කා LPL ක්‍රිකට් තරඟාවලියටත් මේ පිරමීඩ ජාවාරම්කාර ආයතන අනුග්‍රහය දක්වා තිබෙනවා. මේ විදියට LPL ක්‍රිකට් තරගාවලියට පිරමීඩ ජාවාරම්කරුවන් අනුග්‍රහය දක්වන තෙක් මහ බැංකුව නිදාගෙනද හිටියේ? මහ බැංකුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ පිළිබඳව දැනුම් දුන්නේ නැද්ද? මහ බැංකුව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර අන්තර් සබඳතාවක් නැද්ද? මේ පිළිබඳවත් මහ බැංකුව වගකිවයුතු ප්‍රකාශයක් කරයි, කියා අපි බලාපොරොත්තු වෙනවා.
“වහාම ගොවි ජනතාවට වන්දි ලබා දිය යුතුයි!”
IMF මඟපෙන්වීම යටතේ ඉදිරියට යන මේ ආණ්ඩුවේ, අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් ජනතාව මත පතිතව ඇති පීඩනය දෙගුණ තෙගුණ වෙමින් පවතිනවා. නිදසුනක් ලෙස දැන් බලන්න, සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කිරීමේ තීරණය ගන්න ආණ්ඩුව දින 15ක් ගත්තා. මේ නිසා අස්වනු නෙළීමට නියමිතව තිබූ වගා බිම් රැසක් විනාශයට පත් වුණා. නියඟයෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාවට ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්‍රයේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් අමතර පීඩනයකට ලක් වීමට සිදු වුණා. ‘නියඟයක් එනවා’ කියලා කාලගුණ දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා නම්, බෙල්ල මුලටම හිර නොවී මේ ජලය බෙදාහැරීමේ ප්‍රශ්නය විසඳීමට බැරි ඇයි? ආණ්ඩුවේ සහ නිලධාරිතන්ත්‍රයේ අඩුපාඩු නිසා පීඩනයට පත් ගොවි ජනතාවට වහාම වන්දි ගෙවීමක් කළ යුතුයි. වන්දි නොදී අත පිහ ගන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නෙ නැහැ.