26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය ලබාදෙනවා- එ.ජා. මහලේකම්ගේ මෙරට සම්බන්ධිකාරක

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජික රටක් වන ශ්‍රී ලංකාවේ සියලු කටයුතු සදහා උපරිම සහයෝගය පළ කරන බවත්, පසුගිය කාලය තුළ ආර්ථික වශයෙන් බිද වැටුණු ලෝකයේ රටවල් 20 ක පමණ අතරින් කඩිනමින් යළි යථා තත්වයට පත් වු රට වශයෙන් ශ්‍රී ලංකාව ආදර්ශයක් බවට පත් කර යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගේ ද මතය බව මෙරට නේවාසික සම්බන්ධිකාරක Marc – Andre Franche මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධිකාරක Marc – Andre Franche මහතා අතර හමුවක් අද (28) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී අදහස් පළ කරමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
නව නීති හදුන්වා දෙමින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියා මාර්ග, නව ත්‍රස්ත විරෝධි පනත ගෙන ඒම, දුෂණ විරෝධි පනත, මානව හිමිකම් ආරක්ෂා කිරීම සදහා ගෙන ඇති පියවර, ජාතීන් අතර සාමය සංහිදියාව ඇති කිරීම සදහා ගෙන යන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබදව මෙහිදි අවධානය යොමු විය.
ආර්ථික අර්බුදය, කොවිඩ් 19 වසංගතය හා පාස්කු ප්‍රහාරය වැනි කරුණු හේතුවෙන් කඩා වැටුණු මෙරට ආර්ථිකය වත්මන් ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය යටතේ වසරක් වැනි කාලයක් තුළ යථා තත්වයට පත්වීමට කටයුතු කිරීම පිළිබදව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී කරුණු පැහැදිලි කලේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා අධිකරණ අමාත්‍යතුමා සමග සාකච්ඡා කළඅතර , නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත සදහා දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු සියලු පාර්ශ්වවලින් අදහස් ලබා ගෙන සකස් කළ බවත්, එම පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලය අනුමක කළ බවත්, ඒ සදහා පාර්ලිමේන්තු අනුමැතිය කඩිනමින් ලබා ගැනීමට හැකි වනු ඇති බවත් මෙහිදී අමාත්‍යතුමා සදහන් කළේය.
මෙරට සංවර්ධනය විශාල බාධාවක්ව පවතින දුෂණය වංචාව අවම කිරීම සදහා දුෂණ විරෝධි පනත සම්මත කර ඇති අතර ඒ සදහා ද සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් ලබා ගත් බව ද අමාත්‍යතුමා පැවසීය.
නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සදහා පසුගිය මාස දහය තුළ නව නීති ප්‍රතිසංස්කරණ තිහකට වඩා වැඩි සංඛ්‍යාවක් අනුමත කළ බවත්, මැතිවරණ වියදම් නියාමනය කිරීම සදහා සම්මත කළ පනත ඉන් වැදගත් වන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය අගය කරන බව ද , අධිකරණ අමාත්‍යතුමා සදහන් කළේය.

යුද්ධයෙන් පසුව ජාතීන් අතර සහයෝගය වැඩි දියුණු කිරීම සදහා ගෙන ඇති ක්‍රියා මාර්ගයන් සම්බන්ධයෙන් නේවාසික සම්බන්ධිකාරකවරයා විමසු අතර සත්‍ය සහ ප්‍රතිසන්ධාන සදහා කොමිෂම පිහිටුවීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ කටයුතු ශක්තිමත් කිරීම සදහා නව පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර සම්මත වී ඇති බැවින් ඒ තුලින් ජාතික සමගිය ආගමික සුහදත්වය වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ද මෙම අවස්ථාවට එක් වුවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments