28 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPඅ.පො.ස (උසස් පෙළ) විභාගය - 2023 පැවැත්වීම සම්බන්ධයෙන්කරුණු පැහැදිලි කිරීමක්.

අ.පො.ස (උසස් පෙළ) විභාගය – 2023 පැවැත්වීම සම්බන්ධයෙන්කරුණු පැහැදිලි කිරීමක්.

අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල සමීක්ෂණ කටයුතු සඳහා සාමාන්‍යයෙන් මාස 04ක පමණ කාලයක් ගතවන අතර මෙවර විභාගය පෙබරවාරි 17 දින අවසන් වුව ද අදාළ පාර්ශ්ව සහභාගි නොවීම හේතුවෙන් එම කටයුතු ආරම්භ කිරීමට සිදු වූයේ මැයි 20 දින ය. එදින සිට ඉතා කෙටි කාලයක් තුළ සමීක්ෂණ කටයුතු කඩිනම් කර ප්‍රතිඵල ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව මගින් කටයුතු කරනු ලැබේ.

2023. අ.පො.ස. (උසස් පෙළ) විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර තිබුණ ද 2022 අ.පො.ස. (උසස් පෙළ) සමීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් 2023 නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා අදාළ විභාගය පැවැත්වීමට නියමිත බව ට පූර්ව දැනුම් දීමක් 2023.07.17 දින සිදු කර ඇත.

2023 අ.පො.ස. (උසස් පෙළ) ප්‍රථම වතාවට පෙනී සිටින සිසුන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටියේ 2021 මාර්තු වන අතර එහි ප්‍රතිඵල 2021 සැප්තුම්බර් මස නිකුත් විය. ඔවුන් අ.පො.ස. (උසස් පෙළ) පන්තිවලට 2021 දෙසැම්බර් 20 දින වන විට ඇතුළත් ව ඇත. ඒ අනුව 2023 නොවැම්බර් 24 වන විට පාසල් දින 343ක් පවත්වා විෂය ආවරණය කටයුතු සිදු කිරීමේ හැකියාව ඇත.

දරුවන්ගේ වයස සලකා කඩිනමින් විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබා ගැනීම දෙමාපිය අපේක්ෂාව වන බැවින් සිසුනටද හැකි ඉක්මනින් විභාගවලට පෙනී සිට ප්‍රතිඵල ලබා ගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

මේ වන විට 2023 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අයදුම්පත් කැඳවා ඇති අතර දැනට ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 323,913 වේ. පෙර වර්ෂයේ දී එනම් 2022 වර්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709කි.

ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන් ට අයදුම් කිරීමට අවස්ථාව ලැබේ.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මඟින් මාර්ග ගත ක්‍රමයට අවස්ථාව ලබාදෙනු ලැබේ.  

අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින දරුවන් සඳහා පාසල් වාර 06ක් හිමිවන නමුත් මෙම සිසුනට නොවැම්බර් 24 දක්වා දින 343 ක කාලයක් තුළ පාසල් වාර 07ක් ඉගෙනුම් කටයුතු සඳහා හිමි වී ඇත.

දැනට යෝජිත විභාග කාල සටහන හා වාර සටහන නැවත සංශෝධනයක් සිදු වුවහොත් අති බහුතරයක් වූ සිසුන් ප්‍රමාණයකට අසාධාරණයක් සිදු වන අතර එමඟින් සමස්ත සිසුන්ගේ මානව හිමිකම් කඩවන බවට දෙමාපියන්ගේ සහ සිසුන්ගේ අදහස වී ඇත.

අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමේ දී උසස් පෙළ පාසල් ශිෂ්‍යයන්ගේ පැමිණීම 80% සිට 40% දක්වා අඩු කර ඇති අතර පාසල්වලින් ලබා ගත් තොරතුරු අනුව විෂය නිර්දේශය ආවරණය වී ඇති බැවින් 2023 අ.පො.ස.(උසස් පෙළ) පන්තිවලට සිසුන්ගේ පැමිණීම දැනට අවම මට්ටමක පවතින බව ද වාර්තා වේ.

2022 වර්ෂයේ අග භාගයේ පැවති විදුලි අර්බුදය කෙටි කාලයක් තුළ අවසන් විය. රටේ මතු වූ තත්ත්වය හා විවිධ ගැටළුකාරී තත්ත්ව මත වසා දමන ලද පාසල් ආරම්භ කිරීමෙන් පසුව සිසුන්ගේ සාමාන්‍ය නිවාඩු කාලයද අවම වන සේ උපරිම දින ගණනක් අධ්‍යාපන කටයුතුවල නියැලීමට ඉඩ ලැබෙන පරිදි පාසල් පැවැත්විය හැකි දින ගණන තීරණය කර ඒ අනුව කටයුතු කර ඇති බැවින් සිසුනට ගැටළුකාරී තත්ත්වයක් ඉස්මතු නොවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments