23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු...

ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයටයි–අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

ලබන වසරේ විද්‍යාපීඨ ගුරු අභ්‍යාසලාභීන් බඳවා ගන්නේ විද්‍යාපීඨවලට නොව සියලු විද්‍යාපීඨ එකතු කර පිහිටුවන ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයටයි, උසස් පෙළ විභාගය කල් දැමීමේ කිසි ම අදහසක් නෑ-අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

ඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව ලබන වසරේ සිට ගුරු අභ්‍යාසලාභීන් විද්‍යාපීඨවලට නොව මෙම ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලයට ම බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඊට අවශ්‍ය සංකල්ප පත්‍රිකාව දමා අවසන් ව ඇති අතර ඉදිරි සතියේ දී සවිස්තර කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කී ය.
ඌව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ය. එහි දී විද්‍යාපීඨ 19 සඳහා ම ‘ස්මාට් බෝඩ්’ දෙක බැගින් ඉදිරි මාස දෙක තුන ඇතුළත ලබා දෙන බවත් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනයක් සඳහා සෑම අංශයක ම සමබර වර්ධනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
බංකොලොත් ආර්ථිකයක් පවතින මොහොතක වුව පාසල් පෙළපොත්, නිල ඇඳුම් සියල්ල ලබා දුන් බවත් අතපසු ව පැවති විභාග තියා අවසන් කර ඉතිරි ඒවා සැලසුම්ගත ව පවත්වාගෙන යන අතර උත්තර පත්‍ර සමීක්ෂණ කටයුතු ද සිදු කළ බවත් පැවසූ අමාත්‍යවරයා පාසල් දිවා ආහාර ලබා දෙන දරුවන් සංඛ්‍යාව ඉදිරියේ දී තව දුරටත් වැඩි කරන බව ද පැවසී ය.
මෙහි දී විභාග කල් යෑම ගැන අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි උසස් පෙළ විභාගය පවත්වන දින විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවත් එම දින කල් යැවීමට කිසි දු අපේක්ෂාවක් නොමැති බවත් ය. එසේ කල් තැබීමක් සිදු කළ හොත් සාමාන්‍ය පෙළ අතුළු අනිකුත් විභාග ද දීර්ඝ වශයෙන් කල් ගොස් විභාග කාලසටහන හා පාසල් කාලසටහන ද නැවතත් වියවුල් සහගත තත්වයකට පත් වනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේ ය. විභාග හා අධ්‍යයන කාලසටහන් යථා තත්වයට පත් කෙරෙමින් සිටින මෙවන් අවස්ථාවක අවශ්‍ය කැපවීම් සිදු කරමින් ඊට සහාය දැක්වීම සියලු දෙනාගේ ම වගකීම බවත් එසේ නොවුණහොත් අවසන සියලු පාඩු දරාගැනීමට සිදු වන්නේ දරුවන්ට බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments