22.5 C
Sri Lanka
Friday, May 9, 2025
Homeදේශීය පුවත්ගිරිබාවේ තනිවූ දරුවන්ගේ මව දිවයිනට පැමිණෙයි..

ගිරිබාවේ තනිවූ දරුවන්ගේ මව දිවයිනට පැමිණෙයි..

සිය මව විදෙස් ගතවීම හා පියා සිරගත වීම හේතුවෙන් අසරණභාවයට පත්ව ඇති කුරුණෑගල පහල ගිරිබාව ප්‍රදේශයේ දරුවන් තිදෙනාගේ මව (10) දිවයිනට පැමිණ තිබේ.

මෙම සිදුවීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ අවධානය යොමුවීමෙන් අනතුරුව අදාල කාන්තාව කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව කාර්යාංශයේ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු විසින් කුවේටයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිළධාරීන්ට මෙම සිදුවීම පිළිබඳව සොයාබලන ලෙස දන්වා ඇති අතර, ප්‍රදේශයේ සංවර්ධන නිළධාරීද මේ දරුවන් වාසය කරන නිවසට ගොස් කරුණු සොයා බලා තිබේ. කුවේට් තානාපති කාර්යාලය සෘජුව මැදිහත් වී එම දරුවන්ගේ මව කඩිනමින් ශ්‍රි ලංකාව වෙත යැවීමට විදෙස් රැකියා නියෝජිතායතනය වෙත ලබාදුන් උපදෙස් අනුව මෙම කාන්තාව අද රාත්‍රියේ කුවේට් සිට ශ්‍රි ලංකාවට පැමිණෙන ගුවන් යානයක් මගින් දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.

මෙම කාන්තාව මීට පෙරත් ඕමානයේ රැකියාවක් සඳහා ගොස් ඇති තැනැත්තියක් වන අතර, ඇයගේ සැමියා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වලංගු කාල සීමාව අවසන් වීමට ප්‍රථම කාර්යාංශය මැදිහත්වී දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බව වැඩිදුර කරුණු සොයාබැලීමේදී හෙළිවී තිබේ.

මෙවැනි සිදුවීම් සැලකිල්ලට ගනිමින් මව්වරුන් රැකියා සඳහා විදේශ ගතවීමේදී සිය දරුවන්ගේ රැකවරණය පිළිබඳව වාර්තාවක් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් කාර්යාංශය වෙත ඉදිරිපත් කිරිම අනිවාර්ය කිරිමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. එසේ ඉදිරිපත් කිරීමට නොහැකි ඇතැම් කාන්තාවන් කාර්යාංශයේ ලියාපදිංචි නොවී සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමුවන අවස්ථා වාර්තා වන අතර, එසේ විදේශ ගතවීම තමන් හා තම දරුවන්ගේ සුරක්ෂාව හා සුභසාධනය අනතුරට හෙලීමක් බව සිහිතබා ගත යුතු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments