23.1 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදලක්...

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් රු.1,629,000.00 මුදලක් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

එප්පාවල ප්‍රදේශයේ පදිංචි මලිත් සඳරුවන් බණ්ඩාර නම් පුද්ගලයෙකු විසින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා තමන්ගෙන් රු.120,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශය වෙත පැමිණිලි 6ක් ලැබුණු අතර, එම පැමිණිලි අනුව මෙම සැකකරුගේ නිවසේදී (09) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇපයක් මත මුදාහරින තිබේ. ඉදිරි නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි(12) කැඳවීමට නියමිතයි.

මේ අතර, ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 3ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව හෝ මුදල් යළි නොදුන් බවට කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර ප්‍රදේශයේ කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් (11) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අනුරාධපුර ප්‍රදේශයේ ලක්ෂාන් විදේශ රැකියා ආයතනය නමින් කාර්යාංශයේ වලංගු විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ආයතනය මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා වලංගු රැකියා ඇණවුමක් ලබාගෙන නොතිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඉකුත් (11) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන(25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments