21.7 C
Sri Lanka
Friday, May 9, 2025
HomeTOPසෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදීගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු වැදගත් කරුණු පිළිබඳ පරීක්ෂා...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ මිලදීගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු වැදගත් කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුවේ අනු කමිටු දෙකක් පත් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ආශ්‍රිත කරුණු සහ මානව සම්පත් කළමනාකරණය, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල්, ආයතන කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය ආශ්‍රීත පද්ධති සම්බන්ධ ගැටලු ඇතුළු වැදගත් කරුණු පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුවේ අනු කමිටු දෙකක් පත් කරීම සිදු විය.

මෙසේ මෙම අනු කමිටු දෙක පත් කරනු ලැබුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී 2023 ජුනි 23 දින පවත්වන ලද 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් විගණන ඡේද සම්බන්ධයෙන් කාරක සභාවේදී ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ එදින සාකච්ඡා නොකළ විගණන ඡේද සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට නියමිතව තිබුණි.

නමුත් කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශාල ගැටලු ප්‍රමාණයක් පවතින බවයි. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අනු කමිටු දෙකක් පත් කරන බව හෙතෙම පැවසීය. එසේම නොවැම්බර් 07 දින මෙම අනු කමිටු දෙකම කෝපා කමිටුවට කැඳවා එම කමිටුවල නිරීක්ෂණ සහ නිගමනයන් පිළිබඳ පරීක්ෂා කොට ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අනුව මෙරට ඖෂධ හිඟය සහ ඖෂධ මිලදීගැනීම් සම්බන්ධයෙන් පරීක්ෂාකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කෝපා අනු කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතා පත් කරන බවත් මෙහි සාමාජිකයින් ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු අශෝක් අබේසිංහ, ගරු ජයන්ත කැටගොඩ, ගරු හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් පත් කරන බවත් කෝපා කමිටු සභාපතිවරයා පැවසීය.

එසේම දෙවැනි අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන බවත් එහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ඉසුරු දොඩන්ගොඩ, ගරු විමලවීර දිසානායක, ගරු මංජුලා දිසානායක, ගරු වීරසුමන වීරසිංහ සහ ගරු මුදිතා ප්‍රිශාන්ති යන මහත්ම මහතිමීන් පත් කරන බව කෝපා කමිටු සභාපතිවරයා පැවසීය. එසේම මෙම අනු කමිටු දෙක සඳහා කෝපා කමිටුවේ ඹ්නෑම සාමාජික මන්ත්‍රීවරයෙකුට සම්බන්ධවිය හැකි බව කෝපා කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය සතුව විශාල වශයෙන් අක්‍රමිකතාවයන් සහ දුර්වලතාවයන් පෙනී යන බවත් එම නිසා මෙම අනු කමිටු පතිකිරීම සිදු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

එසේම මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සතු අනුමත සේවක සංඛ්‍යාව පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර මේ සම්බන්ධයෙන් පැමිණ සිටි නිලධාරීන් ලබාදෙන පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව කෝපා කමිටුව පෙන්වා දෙන ලදි. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය සතු දත්ත පද්ධතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීම සිදු විය. මේ සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේද නිලධාරීන් සම්බන්ධ විය. තවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙහිදී ඉදිරිපත් කිරීම් (Presentation) දෙකක්ද කාරක සභාව හමුවේ සිදු කරන ලදි.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, විමලවීර දිසානායක, කබීර් හෂීම්, අශෝක් අබේසිංහ, මනෝ ගනේෂන්, හෙක්ටර් අප්පුහාමි, ඒ.එල්.එම්. අතාවුල්ලා, මුදිතා ප්‍රිශාන්ති, වීරසුමන වීරසිංහ, (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ, ජයන්ත කැටගොඩ සහ (ආචාර්ය) හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments