29.1 C
Sri Lanka
Tuesday, June 24, 2025
Homeදේශීය පුවත්මේ වසර විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව...

මේ වසර විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. සුභසාධන වර්ෂය ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී  විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ 2024 නව වසරට සුභ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙසද පැවසුවේය.

“පසුගිය කාල සීමාවේදී මේ රටේ මිනිස්සු දැඩි පීඩාවකට පත්වුණා. රටේ පැවති දැඩි ආර්ථික අර්බුදයන් හමුවේ ගත් එඩිතර හා කාලානුරූපි තීන්දු තීරණ හේතුවෙන් අද ඒ පීඩාවන් බොහෝ දුරට අවසන් කරන්න හැකියාව ලැබුණා. අදටත් මේ ආර්ථිකයත් එක්ක ජනතාවට අපහසුතා තියෙනවා. අපි ඒ බව දන්නවා වගේම හැකි ඉක්මණින් මේ තත්වය අවම කරලා ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙනවා. තව මාස කිහිපයකින් ඒ තත්ත්වය උදාකරන්න අපිට හැකියාව ලැබෙයි. අපේ රට බුන්වත් රටක් විදිහට නම් කරලා තිබුණේ. නමුත් දැන් අපේ රට තවදුරටත් බංකොලොත් රටක් නෙවෙයි. ඉදිරි වර්ෂයේ අපි අණ පනත් විශාල ප්‍රමාණයක් සම්මත කරගන්නවා. ජනතාව ඉල්ලපු system change එක ලබාදෙන්න පුළුවන් වෙන්නේ එහෙම. නැතුව ඔළුගෙඩි මාරුකරලා නෙවෙයි.

ඒ තැනට මේ රට ගේන්න විදෙස්ගත ශ්‍රමිකයින් විශාල දායකත්වයක් ලබාදුන්නා. ඔවුන් ඩොලර් බිලියන ගණනක ආදායමක් මේ රටට ගේන ගමන් මේ ආයතනයත් පසුගිය වසරේ ඩොලර් බිලියන 7ක් මහා භාණ්ඩාගාරයට ලබාදුන්නා. 2023 වර්ෂය අපි නම් කලේ විදෙස් ශ්‍රමික ප්‍රජාවට සුභසාධක වර්ෂයක් විදිහට. ඒ යටතේ අපි රුපියල් බිලියන ගණනක සුභසාධන ප්‍රතිලාභ විගමණික පවුල් සඳහා ලබාදිය හැකි වුණා. ඒ වගේම ප්‍රතිලාභ ලැබෙන මහා පරිමාණ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා.

අපි මේ වර්ෂය නම් කරන්නේ ව්‍යවසායකත්වයේ වර්ෂය විදිහට. විදේශ රැකියාව අවසන් කරලා පැමිණෙන අයව ව්‍යාපාරිකයින් විදිහට ඉදිරියට ගෙන එන්න වැඩසටහන් රැසක් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අපිට ඉදිරියේදී තරුණ ව්‍යවසායකයෝ වැඩිවශයෙන් ඇති කරන්න හැකියාව ලැබෙයි.”

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර, කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් ඇතුළු කාර්යාංශ නිළධාරීන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments