23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්"හිමාලයා ප‍්‍රකාශය" පිළිබඳ තම මතය සෘජුව නොකියන්නෝ "බියගුළු අවස්ථාවාදීන්"

“හිමාලයා ප‍්‍රකාශය” පිළිබඳ තම මතය සෘජුව නොකියන්නෝ “බියගුළු අවස්ථාවාදීන්”

  • දේශපාලන පක්ෂ නායකයන්ට විමල්ගෙන් විවෘත සංදේශයක් !

බෙදුම්වාදී මාර්ග සිතියමේ නව හැරවුමක් වන “හිමාලයා ප‍්‍රකාශය” පිළිබඳව
(යුද ජයග‍්‍රහණය මෙන්ම රණවිරුවන් පාවාදෙන සහ රට දෙමළ බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කරන එම ක‍්‍රියාන්විතය අවබෝධකර ගැනීමේ වැදගත්කම සහ සියලු පාර්ශ්ව ඊට අදාළව තම මතය ප‍්‍රකාශ කළ යුතු බව)

වසර 30ක් පැවති බෙදුම්වාදී යුද්ධය, රණවිරුවන් 30,000ක් ජීවිත පූජා කරමින් මෙන්ම ඊට සමාන පිරිසක් තුවාල ලබමින් සහ 14,000ක් ආබාධිතයින් බවට පත් කරමින් පරාජයට පත් කර වසර 14ක් ගත වී ඇත. එම ජයග‍්‍රහණය උදෙසා සෙසු රණවිරුවන්ගේ මෙන්ම ජීවිත පූජා කළ සහ ආබාධිත බවට පත් වූ රණවිරුවන්ගේ අඹුදරුවෝ මෙන්ම ඥාතීහු සහ සිංහල, දෙමළ, මුස්ලිම් පොදු මහජනයා ද බොහෝ කැප කිරීම් සිදු කළහ.

එහෙත් ඉන්පසුව සමානාත්මතා පදනමින් ජාතික ගැටලුව විසඳීම සඳහා සහ බෙදුම්වාදී මතවාද දේශපාලන වශයෙන් පරාජය කිරීමට ජාතියක් ලෙස අප අසමත් වීම නිසා දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ දෙස් විදෙස් බෙදුම්වාදී බලවේගවලට උතුරේ ජනයා ප‍්‍රාණඇපයට ගනිමින් බෙදුම්වාදී ක‍්‍රියාන්විතය පවත්වාගෙන යාමට හැකි විය.

එම ක‍්‍රියාවලිය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමට අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා බෙදුම්වාදී බලවේග දිගින් දිගටම බලපෑම් සිදුකළ ද ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය. ඊට හේතු වූයේ මහා සංඝරත්නය ප‍්‍රමුඛ ජාතිකවාදී බලවේග ජාතියේ මුර දේවතාවුන් සේ ඊට එරෙහිව සිට ගැනීමය. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහතා 2003 දී අගමැතිවරයා ලෙස බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදීමට උත්සාහ කිරීම මගින් ආරම්භ කළ බෙදුම්වාදයට පක්ෂපාතී ක‍්‍රියාන්විතය, දැන් ජනවරමක් නොමැති ජනාධිපතිවරයෙකු ලෙස නැවත ආරම්භ කර ඇත. ඔහු විසින් තමා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට බෙදුම්වාදී බලවේගවලට සහ තමාට බලයට එන්නට අවස්ථාව සැලසූ පාර්ශ්වවලට පොරොන්දු ලබා දෙන්නේ ඊට අනුව ය. ඊට සමගාමීව දෙස් විදෙස් බෙදුම්වාදී බලවේග නැවත වටයකින් දිරිමත් වී ඇති බව ඉතා පැහැදිලිව දැක ගත හැක.

ඊට අමතරව බෙදුම්වාදී බලවේගවල දායකත්වය සහිතව ආර්ථික සහ දේශපාලන අර්බුදය උස්සන්න කිරීම සහ එම ක‍්‍රියාවලිය තුළ රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට පත් කිරීම තුළ තමාට වඩා වාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති බවට බෙදුම්වාදී බලවේග කල්පනා කරන බව පෙනේ.

එම නව තත්ත්වය තුළ ඔවුන් විසින් තෝරා ඇති උපායමාර්ගික ප‍්‍රවේශය තුළ පැතිකඩ දෙකක් හඳුනාගත හැක. පළමුවැන්න සමස්ත ක‍්‍රියාන්විතයේ පූර්ව කොන්දේසියක් ලෙස මහා සංඝරත්නයෙන් යම් පාර්ශ්වයක් දිනා ගැනීම සහ මහා සංඝරත්නය මෙන්ම ජාතික බලවේග අතර බෙදීමක් ඇති කිරීම සහ මානසික බාධක පැනවීමය. භික්ෂූන් හත්නමක් නේපාලයේ හෝටලයකට රැගෙන ගොස් සියලු සත්කාර ලබා දී “හිමාලයා ප‍්‍රකාශය” නමැති ලියවිල්ලකට අත්සන් ලබා ගන්නේ එම උපායමාර්ගයට අනුව බව ඉතා පැහැදිලිය. එම ක‍්‍රියාන්විතයේ දෙවන අරමුණ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ලබා ගනිමින් සාකච්ඡා ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමය.

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ පවා ජී. එල්. පීරිස් වැනි පැකේජ්වාදීන්ගේ උපදෙස් අනුව දෙමළ ඩයස්පෝරාව සමග එකඟතාවකට පැමිණ ජාත්‍යන්තර පීඩනය සමනය කරගත යුතු බවට මතයක් ගොඩනැගී තිබුණි. එවැනි තත්ත්වයක් තුළ ඊනියා හිමාලයා ප‍්‍රකාශය යනු ඩයස්පෝරාව සමග ගනුදෙනු සාධාරණීකරණය කිරීම සදහා වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේම අදහසක් අනුව කැඳවාගත් ලේඛනයක් බවට ගොඩනැගී ඇති මතය ප‍්‍රතික්ෂේප කිරීම දුෂ්කර වේ. ඊනියා හිමාලයා ප‍්‍රකාශය මේ වන විට ජනාධිපතිවරයා විසින් උත්සවශ‍්‍රීයෙන් පිළිගෙන ඇති අතර මහා නායක හිමිවරුන්ගේ අනුමැතිය ඊට ලැබුණු බවට එම ක‍්‍රියාන්විතයට ගොදුරු වූ භික්ෂූන් විසින් සමාජයේ මතයක් ගොඩනඟන බව ද දක්නට ඇත. අමරපුර මහා සංඝ සභාව විසින් “හිමාලයා ප‍්‍රකාශය” ප‍්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇතත් සෙසු නිකායන් නිහඬව සිටීම තුළ මහා නායක හිමිවරුන්ට අගතියක් සිදුවේ.

එම බොරු ප‍්‍රචාර පතුරුවන භික්ෂූන් හත්නම අතරින් එක් නමක් ව්‍යාජ ලෙස මහාචාර්ය පදවියක් දරන බව පෙන්වති.

ජනාධිපතිවරයා විසින් “හිමාලයා ප‍්‍රකාශය” භාරගෙන දින කීපයක් තුළ දෙමළ දේශපාලන පක්ෂ නායකයින් ජනාධිපති මන්දිරයට කැඳවා 2024 ජනවාරි මාසයේදී සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීම සඳහා නව නීතිමය රාමුවක් සම්මත කරන බවට පොරොන්දු විය. එම උපායමාර්ගික ප‍්‍රවේශය 2015 සිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වාර්තාව මගින් සහ යෝජනා මගින් අවධාරණය කරනු ලැබූවකි. “හිමාලයා ප‍්‍රකාශය” ඉදිරිපත් කරන ගෝලීය දෙමළ සංසදය විසින් එය ක‍්‍රියාත්මක කරන ලෙස ජාත්‍යන්තර වේදිකාවල දිගින් දිගටම බලපෑම් එල්ල කරනු ලැබීය. ඒ අනුව දැන් ඔවුන්ගේ උත්සාහය මල්ඵල ගැන්වී ඇති බව පිළිගැනීමට සිදුවේ.

සත්‍ය සෙවීමේ කොමිසම යන්නට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ මගින් රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ජාත්‍යන්තර ක‍්‍රියාන්විතය තවදුරටත් ශක්තිමත් කළ හැක. “හිමාලයා ප‍්‍රකාශය” තුළ ‘වගවීම’ සඳහා වන බැඳීම අවධාරණය කරනු ලබන්නේ ඒ සඳහාය. ඊට අමතරව ඒ මගින් නැවත ගැටුම් ඇති වීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සඳහා බලපෑම් එල්ල කිරීමේ හැකියාව ද ලැබේ. එම යාන්ත‍්‍රණය තුළ ජාත්‍යන්තර මැදිහත්වීමට අවස්ථාව සැලසීම මගින් ජාත්‍යන්තර බලපෑම රට තුළදීම සිදුකිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව මෙම ක‍්‍රියාවලිය ඉතා පැහැදිලිව යුද ජයග‍්‍රහණය සහ රණවිරුවන් පාවාදෙමින් රට නැවත බෙදුම්වාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ආරම්භක පියවර බව ඉතා පැහැදිලිය.

එම නිසා “හිමාලයා ප‍්‍රකාශය” සහ ඒ මත පදනම්ව ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව නිහඬව සිටීමට කිසිදු දේශපාලන බලවේගයකට හෝ මහා නායක හිමිවරුන්ට සදාචාරාත්මක හැකියාවක් නැත. මහා නායක හිමිවරුන්ට තම ධුරය අතහැරීමට අයිතියක් ඇතත් ඓතිහාසිකව උන්වහන්සේලා වෙත පැවරී ඇති භූමිකාව සහ බලය අතහැරීමට නොහැක. එම නිසා සියලු බලවේග “හිමාලයා ප‍්‍රකාශය” සහ ඒ මත පදනම්ව ආරම්භ වී ඇති “සත්‍ය සෙවීමේ කොමිසම” පිහිටුවීම ඇතුළු සෙසු ක‍්‍රියාමාර්ග පිළිබඳ තම මතය විවෘතව රටට ප‍්‍රකාශ කිරීමට කටයුතු කළ යුතු බව අපගේ ඉල්ලීම වේ. මහා පාවාදීමකට මුලපුරන “සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම්පත” මේ වන විට ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments