27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්රියාද්හිදි අනතුරට පත් රටවිරුවා ගෙන්වා ගන්න ලක්ෂ 20ක් කාර්යාංශයෙන්.

රියාද්හිදි අනතුරට පත් රටවිරුවා ගෙන්වා ගන්න ලක්ෂ 20ක් කාර්යාංශයෙන්.

සෞදි අරාබියේ රියාද්හි ඉදිකිරීම් සමාගමක සේවය කරමින් සිටියදී අනතුරට පත්, නාරම්මල පදිංචි රසින්ත ලියනාරච්චි මහතා විශේෂිත ගුවන් යානයක් මගින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා වැය වන රුපියල් ලක්ෂ 20ට අධික මුදල ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාදීමට නියමිතය. ඒ සඳහා කාර්යාංශයේ සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතාගේ අනුමැතිය හිමිවී තිබෙන අතර, ඔහු ලබන සතිය වන විට දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කරමින් තිබෙන බව කාර්යාංශය සඳහන් කරයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී සේවය කරන ස්ථානයේදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් ඔහු එරට රෝහලක හදිසි අනතුරු අංශයට ඇතුළත් කොට තිබෙන අතර, මාස 3ට අධික කාලයක් ඔහු ප්‍රතිකාර ලබා තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව මේ වන විට රසින්ත මහතා සේවය කළ ආයතනයේ ස්ථානයක තවදුරටත් නවාතැන් පහසුකම් සපයා ගනිමින් සිටි. ඔහු පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන බැවින් රෝද පුටුවක හෝ ආධාරයෙන් ගුවන් යානයකින් පැමිණිය නොහැකි අතර, ඒ වෙනුවෙන් විශේෂ පහසුකම් සපයන ගුවන් යානයකින් පැමිණිමට සිදුවේ.

ඒ සඳහා විශාල මුදලක් වැය වන බැවින් එම මුදල ලබාගැනීම සඳහා ඔහුගේ ඥාතීන් කාර්යාංශය වෙත ඉල්ලීමක් සිදුකර ඇති අතර, ඒ අනුව කාර්යාංශය විසින් වෛද්‍ය කාර්ය මණ්ඩලයද සහිත විශේෂිත ගුවන් යානයකින් ඔහු දිවයිනට ගෙන ඒම සඳහා වැය වන මුදල ලෙස රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීමටද නියමිතය. එසේම කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවූ ශ්‍රමිකයෙකු වන බැවින් ඔහුට හිමි රක්ෂණ වන්දි මුදල් හා අනෙකුත් දීමනා ලබාදීමටද කඩිනමින් කටයුතු සලසා දෙන මෙන් කාර්යාංශ සභාපතිතුමා විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

රසින්ත මහතා සේවය කළ ආයතනයෙන් රුපියල් ලක්ෂ 13ට අධික මුදලක් ඔහු වෙත ලබාදීමට නියමිත අතර, එය කඩිනමින් ලබාගැනීමට ක්‍රියාකරන ලෙස රියාද්හි තානාපති කාර්යාලයේ කම්කරු සුභසාධන අංශයේ නිළධාරීන්ට කාර්යාංශ සභාපතිතුමා විසින් උපදෙස් ලබාදී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments