එළැඹෙන නත්තල් උත්සවය ඉලක්ක කරගෙන විවෘත කෙරුණු නොටින්හැම්හි නත්තල් වෙළෙඳපොළ වසරේ ඉදිරි කාලයම වසා දැමීමට බලධාරීන් අදහස් කර තිබේ. ඒ එය විවෘත කළදාට පසු දිනමය. වේගයෙන් ව්‍යාප්ත වී යන කොරෝනා උවදුර හේතුවෙන් මෙම තීරණය ගත්බව එරට ආරංචිමාර්ග සඳහන් කරයි.
එහි WINTER WONDERLAND සැණකෙළිය විවෘත කළේ පසුගිය සෙනසුරාදාය. කෙසේ වුවද නොටින්හැම් වැසියන්ගෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල විය. මෙහි සංවිධායකයින් වන්නේ MELLORS GROUP ආයතනයයි. ඔවුන් හා නොටින්හැම් නගර සභා බලධාරීන් අතර පැවැති ඒකාබද්ධ සාකච්ඡාවකින් පසුව සැණකෙළිය නතර කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මීට පෙර තීරණය කර තිබුණේ එය දිනපතාම උදෑසන 10 සිට රාත්‍රි 9 වනතුරු නත්තල් සන්ධ්‍යාව වන තෙක් විවෘත කර තැබීමටය. නමුත් එය වසා දමන ලෙස විශාල ජනතා බලපෑමක් එල්ල විය. මැන්චෙස්ටර්, බර්මින්හැම් ආදි නගරවල පැවැත්වීමට නියමිතව තිබූ සැණකෙළිද මේ හා සමාන අයුරින් නවතා දමා තිබේ.
‘‘මෙම සැණකෙළි භූමියට පැමිණ සිටි බොහෝ දෙනාට සමාජ දුරස්ථභාවය පිළිබඳ සැලකිල්ලක් තිබුණේ නැහැ. ඔවුන් සමහර දෙනෙකු මුඛ ආවරණ පවා පැලඳ ගෙන නොවේ ඊට සහභාගි වී සිටියේ.’’ එම ස්ථානයේ වෙළෙඳ සහායිකාවක් වශයෙන් කටයුතු කරමින් සිටි ජෝ-කොක්ස් බ්‍රවුන් ප්‍රකාශ කළාය. ඇය තවදුරටත් පැවසුවේ මෙම සැණකෙළිය ප්‍රාදේශීය වශයෙන් කොවිඩ් ව්‍යාප්ත කිරීමේ තෝතැන්නක් විය හැකි බවය.
මීට පෙර මෙලර්ස් ආයතනය ප්‍රකාශ කර තිබුණේ නාගරික සාප්පු සවාරි සඳහා ඉල්ලුම ඉහළ යමින් පවතින බවයි.