මැයි මස 31 වනදා වන විට ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම හරියාකාරව සිදුනොවූ පළාත් වල ජේෂ්ඨ නිළධාරීන්ට ඒ පළාතේ රාජකාරි කළ නොහැකි බවත්,ඔවුන් එම ප්‍රදේශයෙන් ඉවත් කළයුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.
ඒ අද නුවරඑළියේ පැවති ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදුකළ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
මේ අමාත්‍යාංශය බාරගන්නකොට මට තිබුණු එකම අභියෝගය තමයි මේ රට නිවන එක. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ පාරවල් වල යන්න බැහැ. එක එක ගම් පිහිටුවාගෙන එකම විදේශිකයෙක්වත් මේ රටට ආවේ නෑ, ඔබ සියලු දෙනාම ගෑස් පෝලිම්වල ,පෙට්‍රල් පෝලිම්වල. අන්න ඒ වැනි තත්ත්වයක් තමයි වෙලා තිබුණේ. ඒ වෙලාවේ මම තීරණය කෙරුවා ඒ තත්ත්වය වෙනස් කරන්න දැඩි තීරණ ගන්න ඕනේ කියලා. එහෙම තමයි මහ පාරේ තිබුණු අරගලය මම ඉවර කරේ. ඔබ සියලු දෙනාට තිබුණු අමාරුකම් මම දැනගෙන හිටියා, නමුත් ඒකට විරෝධය ප්‍රකාශ කරන වෙලාවේ , ඒකෙන් දේශපාලන වාසි ගන්න බැලුවා. එක එක චණ්ඩිකම් කරන්න බැලුව මහ පාරේ. ඒ දේවල් වලට ඉඩ තියන්න මට හැකියාවක් තිබුණේ නෑ. අපි රට සමනය කෙරුවා.
ආර්ථිකය ගොඩ ගන්න එක ජනාධිපතිතුමා භාරගත්තා. අපි එහෙම කෙරුවේ නැත්නම් සමහරවිට ඔබ සියලු දෙනා තවමත් ගෑස් පෝලිම් වලයි පෙට්‍රල් පෝලිම් වලයි, මට ඊළඟට තිබුණ ප්‍රශ්නය තමයි මේ රටේ කුඩු ප්‍රශ්නයයි පාතාලයයි. පොලිස්පතිතුමා පත්වෙන්න මාස හයකට විතර කලින් එතුමාගේ සභාපතිත්වයෙන් මම කමිටුවක් පිහිටෙව්වා . එම කමිටුවට මම කිව්වේ මුළු රටේම තත්ත්වය අධ්‍යයනය කරලා මට කියන්න කියලා. අපි ඒක මාස හයක් විතර කෙරුවා. ඒ වෙලාවේ මට අවශ්‍යතාවය තිබුණා මෙතුමාව පොලිස්පතිතුමා බවට පත්කරන්න. මෙතුමා පොලිස්පති ධූරයට පත් වෙනවාට විරෝධය පෑවේ මේ වැඩකටයුතු ටික හරියට කරගෙන යනවට අකමැති උදවිය.කොහොම හරි අපි මෙතුමාව පොලිස්පති ධූරයට පත් කරගෙන ඊට පස්සේ මම මෙතුමාට කිව්වා මට එක දවසක මුළු දකුණු පළාතම ආවරණය වෙන පරිදි මෙවැනි සම්මන්ත්‍රණ තියන්න ඕනේ කියලා. අපි පසුගිය දෙසැම්බර් 16 වෙනිදා මෙවැනි සම්මන්ත්‍රණ හතරක් දකුණු පළාතේ තිබ්බා.එහෙම තියලා තමයි අපි රටට දැනුම් දෙන්නේ පහුවදා ඉඳන් අපි යුක්තිය මෙහෙයුම පටන් ගන්නවයි කියලා. අපි දැන් මාස හතරක් විතර වෙනවා යුක්තිය මෙහෙයුම පටන් අරගෙන. ඔබේ ප්‍රදේශයේ කුඩු අඩු වෙලාද පාතාලේ අඩුවෙලාද කියලා ඔබ හොඳටම දන්නවා දැන්.
අපි ඉස්සර ප්‍රජා පොලිස් කමිටු පිහිටවපු විදිය මම වෙනස් කෙරුවා. ඒකටත් මම පොලිස්පතිතුමා පොලිස්පති වෙන්න ඉස්සෙල්ල මං එතුමාට තමයි බාර දුන්නේ අලුත් ක්‍රමයක් හදන්න කියලා ඒක අපි අවසන් කෙරුවේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ . හැබැයි දැන් පොලිස්පතිතුමා මට දැන් කිව්වා ප්‍රජා කමිටු පිහිටුවීම හරියට සිදුවෙලා නෑ කියලා. මං අද පොලිස්පතිතුමාට කියනවා මැයි 31 වෙනකොට කෙරිල නැති පළාත්වල ජේෂ්ඨ නිලධාරීන් ඒ දේ හරියට කරලා නැත්නම් ඒගොල්ලන්ට ඒ පළාතේ ඉන්න බෑ. ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ. හරියට ප්‍රජා පොලිස් කමිටු පිහිටවලා අපිට වුවමනා වෙලා තිබුණු ඔබ සියලු දෙනාම එක්ක එකතු වෙලා මේ වැඩේ හරියට කරන්න. මේ වෙනකොට සන්තෝසයි අද වෙනකොට විශාල වෙනසක් පෙන්නලා තියෙනවා. මේ අප්‍රේල් මාසෙ වෙනකොට මට පෙනිලා තියෙනවා රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. නමුත් හිතන්න එපා මේක හරි ලේසි වැඩක් කියලා. මේක පටන් ගත්තු වෙලා ඉඳලා මට තිබුණු විරෝධය ඉතා විශාලයි.