25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගෝලීය සති සමුළුව මැයි මස 3 සහ 4 නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ...

ගෝලීය සති සමුළුව මැයි මස 3 සහ 4 නාගානන්ද ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දී

මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක සතිමත්බව අභ්‍යාස කිරීමේ වැඩසටහනේ තීරණාත්මක ඉදිරි පියවරක් ලෙස ගෝලීය සති සමුළුව ලබන මැයි 3-4 දෙදින තුළ මානෙල්වත්ත නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වෙයි. පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපාසල් පදනම හා අධ්‍යාපන අමාත්‍යාංශය එක් ව සංවිධානය කර ඇති මෙම ජාත්‍යන්තර සමුළුවට යුරෝපා රටවල් ඇතුළු බොහෝ රටවල පිහිටුවා ඇති සති පාසල් සංවිධානවල නියෝජිතයො සහභාගී වෙති.

පූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ සංකල්පයකට අනුව නිර්මාණය වී ඇති සතිමත්බව අභ්‍යාස කිරීමේ වැඩසටහන මගින් සතිය හෙවත් සිහිය ඉතා නිර්මාණශීලී ව හා ආකර්ෂණීය ලෙස තම ජීවිත සමග බද්ධ කරගෙන ජීවිතයේ මුහුණ පෑමට සිදු වන සියලු ම ප්‍රශ්නවලට පිළිතුරක් ලෙස එම සිහිය පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය පාසල් සිසුන්ට හඳුන්වා දීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ ක්‍රමවේදය මේ වන විට වසර අටක පමණ කාලයක් ලංකාවේ විවිධ ක්ෂේත්‍රවලට හඳුන්වා දී ප්‍රායෝගික ව භාවිතයට ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සිදු කරන ලද අධ්‍යයනයකින් පසු ව එය මෙරට පාසල් පද්ධතියට හඳුන්වා දී ඇති අතර එය සියලු ජන වර්ගවලට අයත් සෑම ආගමක ම පාසල් දරුවන් ඉතා උද්‍යෝගයෙන් වැළඳගෙන ඇත. අධ්‍යාපන කටයුතුවල ඵලදායිතාව වර්ධනය කිරීම උදෙසා එමගින් ලැබෙන ඉහළ මානසික දායකත්වයක් හේතුවෙන් ඊට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් ද මේ වන විට ලැබී ඇත. ඒ ඔස්සේ සතිමත් දේශයක් ගොඩනංවා ලාංකික සතිමත් දිනයක් ප්‍රකාශයට පත් කිරීමට මෙම ගෝලීය සමුළුව පැවැත්වෙන කාලය තුළ දී අපේක්ෂා කෙරේ. අනතුරු ව එක්සත් ජාතීන්ගේ සංවිධානයට එය ඉදිරිපත් කිරීම ඔස්සේ ඉන් ලබාගත හැකි ජයග්‍රහණ හා දරුවන්ගේ බුද්ධිමය හා චර්යාත්මක සංවර්ධනය කිරීමට ලද හැකි විපුල දායකත්වය සම්බන්ධයෙන් සමස්ත ලෝකය ම දැනුම්වත් කිරීමට මෙම ගෝලීය සති සමුළුව තෝතැන්නක් කරගැනීම සංවිධායකයන්ගේ අපේක්ෂාවයි. එය සතිමත්බවින් යුත් විශ්ව ගම්මානයක් ගොඩනැංවීම හා ජාත්‍යන්තර සතිමත් දිනයක් ප්‍රකාශයට පත් කිරීම දක්වා ඉදිරියට ගෙන යෑමට ද අපේක්ෂිත ය.

මෙම ගෝලීය සති සමුළුව පැවැත්වෙන කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැනි ආයතන රැසක් තම ආයතන තුළ මෙම සිහිය සතිය අභ්‍යාස කිරීමේ වැඩසටහන් මගින් ලද ප්‍රතිලාභ පිළිබඳ අදහස් දැක්වීමට නියමිත ය. එමෙන් ම සියලු ආගම් නියෝජනය කරන පිරිස් ද නිදසුන් දක්වමින් මේ සමුළුව අමතනු ඇත.

සම්පූර්ණයෙන් ම නොමිලේ පවත්වනු ලබන මෙම සති සමුළුවට ඔබටත් එක් විය හැකි අතර ඒ සඳහා www.satipasala.org  වෙබ් පිටුවට පිවිස ලියාපදිංචි වීය හැක.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments