22.7 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්මින්මතු මුස්ලිම්-දෙමළ පක්ෂවලට සජබෙන් නාමයෝජනා නැහැ

මින්මතු මුස්ලිම්-දෙමළ පක්ෂවලට සජබෙන් නාමයෝජනා නැහැ

මින් ඉදිරියට මුස්ලිම් හා දෙමළ පක්ෂවල අපේක්ෂකයන්ට සමගි ජන බලවේගය යටතේ නාම යෝජනා ලබා නොදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසීය.

එවැනි අපේක්ෂකයන්ට අවශ්‍යනම් මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගය සමග එකතු වී වැඩ කළ හැකි බවත් ඒ මහතා කියයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදීන් හමුවේ මහනුවරදී ඊයේ (13 වැනිදා) ප්‍රකාශයක් කරමිනි. සමගි ජන බලවේගය යටතේ නාම යෝජනා ලබාගත් මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයේදී විශාල පවාදීමක් කළ බවත් වෙනත් පක්ෂයක නියෝජිතයන් නිසා ඔවුන් ඉවත් කිරීම සම්බන්ධව නෛතික ගැටලු තිබෙන බවත් මෙහිදී කීය.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ විය යුතු බවට රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් ඔවුන්ගේ පක්ෂ දේශපාලන මණ්ඩලවලදී තීරණයක් ගෙන නොමැති නිසා පවාදීම් කළ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හැකියාව ඔවුන්ටද නැතැයි හෙතෙම අවධාරණය කළේය.

තම පක්ෂය සමග දුකේදීත් සැපේදීත් එකට සිටින මුස්ලිම් හා දෙමළ දේශපාලනඥයින් ශක්තිමත් කර තම පක්ෂයේ අපේක්ෂකයන් ලෙස ඔවුන් පමණක් ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් කබීර් හෂීම්, අබ්දුල් හලීම්, මුජිබර් රහුමාන් හා එස්.එම්. මරික්කාර් ඊට උදාහරණ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල කීය.

මින් ඉදිරියට සමගි ජන බල වේගයෙන් මැතිවරණවලට තරග කරන මුස්ලිම් හා දෙමළ අපේක්ෂකයන් අනිවාර්යයෙන්ම පක්ෂ සාමාජිකත්වය ලබා ගත යුතු බවත් එසේ නොමැතිනම් කිසිසේත්ම නාමයෝජනා ලබා නොදෙන බවත් සඳහන් කළ ඒ මහතා කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරු 08 දෙනා හා ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මහා පාවා දීම නොකළේ නම් රජයට 20 වැනි සංශෝධනය කිසි සෙත් සම්මත කිරීමට හැකියාවක් නොලැබෙන බවය.

කෙසේ වෙතත් කිරිඇල්ල මහතා විසින් කරන ලද මෙම ප්‍රකාශ පිළිබඳව සමගි ජන බලවේගය සමග එක්ව සිටින දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසය මේ වන විටත් දැඩි අවධානයක් යොමු කර ඇති බව වාර්තා වන අතර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග අදාළ මතය පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයිද සඳහන් වේ. සමගි ජන බලවේගය සමග සිටින මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මේ වන විටත් කිරිඇල්ලගේ ප්‍රකාශයට විරුද්ධත්වය පළකර ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

එම මතය පක්ෂයේ මතයද එසේ නැතිනම් කිරිඇල්ල මහතාගේ පෞද්ගලික මතයද යන්න විමසීම සඳහා හැකි ඉක්මනින් තමන්ට හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙසද අදාළ පක්ෂ නායකයන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments