මාරවිල තොඩුවාවේදී ඉකුත් 6 වැනිදා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 300ක හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයට අදාළ ජාවාරමේ ප්‍රධාන සැලසුම්කරු බව කියන දේවගැතිවරයකු හා අඹුසැමි යුවළක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඊයේ (13 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැන යාමට සූදානම් වෙද්දී පොලිස් විශේෂ කාර්යාංශයේ කොළඹ උතුර භාර නිලධාරියකුට ලද තොරතුරක් මත මෙලෙස කොටුකරගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටුවකින් ගෙන ආ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන ඒවා ලබා ගැනීමට පැමිණි පිරිස පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සුරාබදු නිලධාරීන් කටයුතු කර ඇතැයිද මෙම විමර්ශනයේදී හෙළිවී ඇත.
විමර්ශනවලදී හෙළිවූ තොරතුරු අනුව අත්අඩංගුවට ගත් අයිස් හා හෙරොයින් තොගය සම්බන්ධව සැක මතුවීම නිසා ඒවා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකාර දේවගැතිවරයා විදෙස් රටවල් කරා මුහුදු මගින් පුද්ගලයන් පිටත් කරන ජාවාරමක නිරත වූ අයකු බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම දේවගැතිවරයාට මිනිස් ජාවාරම් සම්බන්ධව නඩු හයක් පමණ තිබෙන බවද අනාවරණය වී ඇත.
ඩුබායිහි සිටින බත්තරමුල්ලේ සංජු නමැත්තා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමට දේවගැතිවරයාට සහාය වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඝාතනයට ලක්වූ සොත්ති උපාලි නමැත්තාගේ දියණිය මෙම සංජු නමැත්තාගේ විවාහක බිරිඳ වේ.
සංජු නමැත්තා හර්ෂ යසස් නමැත්තාගේ ඝාතනයට හවුල්වී ඉන් අනතුරුව ඩුබායි රාජ්‍ය වෙත පලාගොස් ඇත.