මැතිවරණ උණුසුමෙන් ජනතාව හිරිවට්ටවා ලංකාවේ ආර්ථික සහ දේශපාලන ස්වෛරීත්වය විනාශ කරන ගිවිසුම් අත්සන් කරමින් සිටින බවට ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ආණ්ඩුවට චෝදනා කරයි. අගෝස්තු 20 දින එල්. එන්. ජී. සැපයුමට අදාලව ඉන්දියානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳව සඳහන් කරමින් ඔහු මේ බව පැවසුවේ අගෝස්තු 21 වැනිදා මහනුවරදීය.
ලංකාවේ ජනතාවගේ ඇස් මැතිවරණ මල්වෙඩි සංදර්ශන වලින් නිලංකාර කර ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය මුළුමනින්ම පාහේ අහිමි කරන ගිවිසුමක් ඊයේ පස්වරුවේ ඉන්දියානු සමාගමක් සමග අත්සන් කර තිබෙනවා. රාජ්‍ය සමාගමක් වල LTL holdings සමාගම සහ ඉන්දියාවේ Petro net LNG සමාගම අතර ගිවිසුමක් අත්සන් කළ බව කීවාට එය අත්සන් කර ඇත්තේ විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතර. මෙහි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
පළමුවැන්න මේ ගිවිසුම කුමක්දැයි ජනතාවට හෙලිදරව් නොකිරීම. මේක මැතිවරණ උණුසුම මැද හොරෙන් අත්සන් කළේ. දෙවැන්න ලංකාවට LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායුව ගෙන්වීම මේ ඉන්දීය සමාගමට ලබාදී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව තරඟකාරී මිළ කැඳවීම සහ අවම මිලට අවස්ථාව ලබාදීම යන ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින්. මේ නිසා ඉහල මිල ගණන් වලට ඉන්ධන මිලදී ගෙන අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට නියමිතයි. ලෝක වෙලඳපොලෙන් අවම මිල ගණන් යටතේ LNG මිලදී ගත හැකිව තිබියදී මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්නේ ඉන්දියාවේ දේශපාලන බලපෑමක් මත බව පැහැදිලියි.
තුන්වැන්න මෙමගින් ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය විශාල අවදානමකට ලක් වෙනවා. කෙරවලපිටියේ යුගදනවි බලාගාරය ඇතුළු ඒකාබද්ධ චක්‍රීය විදුලි උත්පාදන පද්ධතියත්, අලුතෙන් වැඩ නිමකර ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට නියමිත සොබාදනවි බලාගාරයත්, කැලණිතිස්ස බලාගාරයේ උත්පාදන යන්ත්‍ර සමහරකුත් LNG භාවිතා කරන නිසා මෙම ඉන්දියානු සමාගමට මෙගාවොට් 1000ක පමණ විදුලි සැපයුමකට බලපෑම් කිරීමේ හැකියාව ලැබෙනවා. නොරොච්චෝලේ බලාගාරය එහි උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වනවිටත් උත්පාදනය කරන්නේ මෙගාවොට් 650ක් පමණ නිසා ඉන්දියාවට ලැබෙන බලයේ තරම තේරුම් ගන්න පුළුවන්. අනෙක 2030 වනවිට අනෙකුත් බලාගාරත් LNG වලට පරිවර්තන කිරීමේ සැලසුමක් විදුලි බල මණ්ඩලයට තිබෙන නිසා අනාගතයේදී මේ තත්වය තවත් බරපතලයි. මේක අපේ ගෙදර main switch එකයි trip switch එකයි fuse board එකයි අල්ලපු ගෙදර සවි කරනවා වගේ ගිවිසුමක්.
අද මේවා ගැන කවුරුත් කට අරින්නේ නෑ. ඉන්දියාව සිදු කරන දේශපාලන හා ආර්ථික බලහත්කාරය ගැනත් ලංකාවේ ආණ්ඩුව ඒ ඉදිරියේ දන ගැසීම ගැනත් ආණ්ඩුව වගේම විපක්ෂයත් නිහඬයි. ඔක්කොගෙම කටේ පිට්ටු. ඉන්දියාව හැමෝගෙම කටේ පිට්ටු ඔබලා තියෙන්නේ. මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ ගොඩක් හිටියට ප්‍රතිපත්තිමය කඳවුරු දෙකයි තියෙන්නේ. ජනාධිපති වෙන්න සූට් මහන අපේක්ෂකයෝ ඔක්කොම එක පැත්තක. මේ කොල්ලකාරී සහ විනාශකාරී ගමනට එරෙහි කඳවුරේ කොඩිය ඔසවාගෙන සිටින්නේ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහෝදරයා.
මැතිවරණ උණුසුම අස්සේ ඉන්දියාවට දොල පිදේනි දෙනවා – පුබුදු ජයගොඩ
RELATED ARTICLES