සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සේදවත්තේ කසුන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන පුද්ගලයන් දෙදෙනෙකු රිවොල්වර් උණ්ඩ සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මගපෙන්වීම මත සහකාර පොලිස් අධිකාරි ආර්.කේ.යු.ඕ. ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරික්ෂක එච්.පි.එම්.එස්.කේ. වීරක්කොඩි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (30) ග්‍රැන්ඩ්පාස් පොලිස් වසමේ පී.ජි.පෙරේරා මාවත, සේදවත්ත ලිපිනයේ පිහිටි ගම්මඩු විහාරය ඉදිරිපිට දී සහ සේදවත්ත කළුපාලම අසල වැටලීම් සිදුකර ඇත.
එහි දී රිවෝල්වර් උණ්ඩ 04 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 මිලි ග්‍රැම් 500 ක්, ජංගම දුරකථනයක් සහ මුදල් රුපියල් 6,500 ක් සන්තකයේ තබාගෙන සිටි මුදුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක පුද්ගලයකු සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකුද අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රැන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරිමේදී දැනට විදේශිය රටක් වෙත පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සේදවත්තේ කසුන් නැමති අයගේ මෙහෙයවීම යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇත.