29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට මරණ දඬුවම දිය යුතුයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියල්ලන්ට මරණ දඬුවම දිය යුතුයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණීය දණ්ඩනය නියම කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දංකොටුවේදී පැවැසුවේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පෙරේදා (03 වැනිදා) දංකොටුව කැරන්වත්ත ශ්‍රී අශෝකාරාම විහාරයට පැමිණ එහි විහාරාධිපති පේරියවිලංකුලමේ ධම්මික බැහැදැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුවය.

සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික ඇමැතිවරයා ලෙස කටයුතු කරන වකවානුවේ ‘සිසු දහම් සෙවණ’ වැඩසටහන මගින් එම විහාරයේ දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකළ අතර විපක්ෂ නායකවරයාගේ සහභාගීත්වයෙන් එය එදින විවෘත කෙරුණි.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීවේය.

“ආණ්ඩුව පස්වෙනි මණ්ඩලයේ හයවැනි මණ්ඩලයේ සහ සුපිරි මණ්ඩලයේ චිත්‍රපට නිර්මාණය කරන බවත්, ඒ චිත්‍රපටවල රඟපාන්නේ ඔවුන්ම බවත් විපක්ෂ නායක පැවැසීය.

මැතිවරණය දවස්වල පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කළේ ආණ්ඩුව. ඒ දිනවල තමන් ලියූ අපූරු ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ආණ්ඩුව විසින් නිර්මාණය කළා. වැරදිකරුවන් කවුද කියා කෙලින්ම චෝදනා කළා.

ඒ දිනවල පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියා රිෂාඩ් බද්දියුදීන්ගේ සහෝදරයා මාස පහක් හිරේ තියාගෙන සිටියා. දැන් ඔහු එම ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් නෑ කියලා නිදහස් කර තිබෙනවා. පසුගිය මැතිවරණය සමයේ ආණ්ඩුව මේ ආකාරයේ චිත්‍රපට නිර්මාණය කළා. දැන් ඒ සියල්ල හෙළිදරව් වෙනවා. රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් මොනවාදැයි කියා අමතක කොට ඇති ආණ්ඩුව විසිවන සංශෝධනයේ එල්ලී සිටිනවා. රටේ උත්තරීතර නීතිය හිතුමනාපෙට සංශෝධනය කරන්න බැහැ.”

එදින හලාවත ආසන දෙව් මැදුරට පැමිණි විපක්ෂ නායකවරයා විශේෂ දේව මෙහෙයකට සහභාගිවීමෙන් අනතුරුව මීසම් පාලක පියතුමන් සමග සාකච්ඡාවකද නිරත විය.

අනතුරුව හලාවත විජයාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා විහාරාධිපති හලාවත සුමනසිරි හිමි බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

මුන්නේෂ්වරමේ පිහිටි ඊශ්වර දේවාලයට ගිය විපක්ෂ නායකවරයා විශේෂ ආගමික වැඩසටහනකටද එදින එක් විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙසේද පැවසීය.

‘‘20 වැනි සංශෝධනය කියන්නේ මේ වෙලාවේ අපේ රටට අවශ්‍ය නොවන වලංගු නොවන දෙයක්. තමන්ගේ පෞද්ගලික බල පරාක්‍රමයන් එක තැනක ගොනු කරන්නට තමයි 20 වැනි සංශෝධනය ගෙන එන්නේ. මම හිතන්නේ 20 වැනි සංශෝධනයෙන් රටට ඉමහත් හානියක් සිදු වන බවයි.

ඇතැම් අය කියනවා 20 වැනි සංශෝධනය දිනවන්න විපක්ෂයේ කට්ටියක් එනව කියලා. නමුත් මට නම් දැනගන්න තිබෙන්නේ 20 පරාජය කිරීම සඳහා ආණ්ඩුවේ කට්ටියක් විපක්ෂය සමග එකතු වෙනව කියන එකයි.

අපි ඉදිරියට යන්නේ සමගි ජන බලවේගයත් සමග. ඕනම පාර්ශ්වකට, කණ්ඩායමකට හැකියාව තිබෙනවා අපිත් සමග එකතු වෙන්න. ඒ අපේ ප්‍රතිපත්ති සමග එකඟ නම් පමණයි. ජාතිකත්වයට එකඟව, රටේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරමින් ස්වෛරී ඒකීය සිංහල හා බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන රටේ සියලු ජාතීන්, ආගම් සුරකින ශ්‍රී ලංකාවක්. තමයි අපේ ප්‍රතිපත්තිය. එම ප්‍රතිපත්තිවලට එකඟ නම් ඕනම පාර්ශ්වයකට හැකියාව තිබෙනවා සමගි ජනබල වේගය යටතේ එකතු වෙන්න.”

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි, හිටපු රාජ්‍ය අමාත්‍ය විකටර් ඇන්ටනි බියන්විල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර, හලාවත නගරාධිපති කුෂාන් අබේසේකර යන අයද එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments