රජය විසින් මාලබේ – කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අත්හිටුවීම සාහසික ජාතික අපරාධයක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක පැවසීය. මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගන්නා ණය වෙනුවෙන් ගෙවිය යුත්තේ සියයට බින්දුවයි දශම එකක ඉතාමත් සුළු පොලී අනුපාතයක් පමණනක් බවත් ජපානය සමග ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලදී කොමිස් ලබාගැනීම් සිදුකළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
හෙතෙම ඒ බව සඳහන් කළේ ඊයේ (04 වැනිදා) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.
‘‘සැහැල්ලු දුම්රිය ව්‍යපෘතිය අත්හිටුවන්න ආණ්ඩුව කැබිනට් මණ්ඩල අනුමැතියක් අරගෙන තියෙනවා. ඒ නතර කිරීම සාධාරණීකරණය කිරීමට ඔවුන් හේතු පහකුත් ඉදිරිපත් කරල තියෙනවා. මේ ව්‍යාපෘතියට අදාළව හිටපු විෂයභාර ඇමැතිවරයා ලෙස ඒ පිළිබඳ ඇත්ත රටට ප්‍රකාශ කිරීම මගේ වගකීමක්. රජයේ මාධ්‍ය නිවේදනයේ කියනව මුලින්ම බිමින් ගමන් කරන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අහෝසි කරල මම කණුමතින් දිවෙන දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කළා කියලා. ඒක පට්ටපල් බොරුවක්. බිම මතින් දිවයන්න එවැනි කිසිදු දුම්රිය ව්‍යාපෘතියක් මොනම තැනකවත් යෝජනා වෙලා තිබුණේ නැහැ.
ඊළඟට කියල තියෙනව මේ නිසා දැවැන්ත පරිසර හානියක් වෙනව කියලා. මාලබේ, කඩුවෙල ආදී ප්‍රදේශ හරහා කණුමතින් දුම්රිය මාර්ගයක් ඉදිකරන කොට පරිසර හානියක් සිදුවෙනවද නැද්ද කියන එක කාටත් තේරෙනවා. දිනපතා මේ රටේ සංරක්ෂිත භූමි ප්‍රදේශ හතක් හෙළිකරන ආණ්ඩුවක් මේ වගේ ව්‍යාපෘතියක පරිසර හානිය ගැන කතා කිරීම විහිළුක්.
ඊළඟට කියනවා අතිවිශාල නිවාස හා ගොඩනැගිලි සංඛ්‍යාවක් ඉවත්කරන්න සිදුවෙනවා කියලා. අපි මේ ව්‍යාපෘතියේදී කඩා ඉවත කිරීමට සිදුවන නිවාස, කඩසාප්පු පිළිබඳ සංගණනයක් සිදුකළා. හයිලෙවල් මාර්ගය, කැස්බෑව මාර්ගය වැඩි දියුණු කරනකොට කොහොමත් යම් ඉදිකිරීම් ප්‍රමාණයක් ඉවත් කරන්න සිදුවුණා කියල අපි දැක්කා. මේ ව්යාපෘතියෙදීත් එසේ ඉවත් කෙරෙන පිරිස්වලට වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් අපි සකස් කරලයි තිබුණේ.
දෙදහස් පහේ ඉඳල දෙදාස් පහළොව දක්වා රාජ්‍ය ප්‍රාග්ධන වියදම්වලින් සියයට හතළිස් පහක් වියදම් කළේ පාරවල්වලට. සෞඛ්‍යට සීයට හතරයි. අධ්‍යාපනයට සියයට හයයි. පාරවල්වලට තමයි ප්‍රමුඛතාව ලැබුණේ. නමුත් ප්‍රවාහන ප්‍රශ්නෙ විසිඳුනේ නැහැ. ජයිකා ආයතනය විසින් මේ පොදු ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය සඳහා අධ්‍යයනයක් සිදුකළේ දෙදාස් අටේ රාජපක්ෂ යුගයේ ඉඳලා. සැහැල්ලු දුම්රියකට පුළුවන් පැයකදී මාලබේ ඉඳන් කොළඹට සෙනග තිස්දාහක් ගේන්න. ඒ කියන්නේ පැය තුනකට අනූදාහක් ගේන්න පුළුවන්. ඒ කියන්නේ දැනට ඒ මාර්ගයේ එන ප්‍රමාණයෙන් අඩක්. මෙන්න මේ විද්‍යාත්මක නිගමනය මතමයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය තෝරගත්තේ.
ඊළඟට මේ අය කියනවා පිරිවැය අධිකයි කියලා. මේ ඇස්තමේන්තු ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට අඩුවෙන්නත් පුළුවන්. වැඩිවෙන්නත් පුළුවන්. මේ ව්‍යාපෘතියේ මූලික වියදම විදිහට ඩොලර් මිලියන දෙදාහස් දෙසීයක් පෙන්නලා, ඒ මුදල කිලෝමීටර් ගානෙන් බෙදලා මේක මහා වියදමක් තියෙන ව්‍යාපෘතියක් කියල අදහස් පළ කරන අය ඉන්නවා. මේ ව්‍යාපෘතියේ මූලික වියදම ඩොලර් මිලියන එක්දාහස තුන්සිය හැත්තෑ හතරයි. මේක පාරක් හදනව විතරක් නෙමෙයි. මේ ව්‍යාපෘතිය ඇතුළේ කෝච්චි පෙට්ටි සහ ඊට අයත් අනුශාංගික උපකරණවලට ඩොලර් මිලියන දෙසීය හැටක් යනවා. ඒ වගේම මේ දුම්රිය දුවන්නේ විදුලියෙන්. ඒ විදුලි පරිපථ ඇතුළේ කොටස්වලට තවත් ඩොලර් මිලියන හාරසීයක් වැයවෙනවා. මේක අලුත් සිස්ටම් එකක්. ඒ නිසා මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට යන්නේ ඩොලර් මිලියන හයසීයකට අඩු මුදලක් විතරයි. මේකෙ පොලිය බිංදුවයි දශම එකයි. සියයට අටයි දශම හයේ පොලියට ණය අරගෙන කැලෑවල අධිවේගී පාරවල් හදපු අය දශම එකේ පොලිය ප්‍රශ්න කරනවා.
මේ බිංදුවයි දශම එකේ පොලියට ගන්න ණය දෙගුණයක් වෙන්න අවුරුදු හත්සීයක් ගත වෙනවා. අපි දන්නවා ජපන් ආධාරවලින් කොමිස් ගහන්න බැහැ. දැන් මේ වෙනත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ගන්න උත්සාහය නිසා ජපානයත් අපිත් එක්ක තරහ වෙනවා. මේ ව්‍යාපෘතිය නතර කිරීම සාහසික ජාතික අපරාධයක්.