29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක් වරාය අදිකාරිය සතුවිය යුතුයි

නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක් වරාය අදිකාරිය සතුවිය යුතුයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අයිතිය සියයට සියයක් අනිවාර්යයෙන්ම වරාය අදිකාරිය සතුවිය යුතුය යන මතයේ තමන් වහන්සේ ඇතුලු වරාය සුරැකීමේ ජාතික ව්‍යාපාරය දැඩිව සිටින බවත් නැගෙනහිර පර්යන්තයේ ගැටලුව විසදීම සදහා ආරම්භ කර ඇති ක්‍රියාමාර්ගය නවතා දැමීම පිළිබදව තීරණය කරනුයේ අද(01) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තිබූ කැබිනට් පත්‍රිකාව දෙස බලා බවත් නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරුඇල්ලේ ගුණවංශ නාහිමියෝ ප්‍රකාශ කළහ.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඊයේ(01) කොළඹ-07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇල්ලේ ගුණවංශ නාහිමියෝ-

අගමැතිතුමා සමඟ වරායේ වෘත්තීය සමිති සාකච්ඡාවක් පැවැත්වූවා.නැගෙනහිර පර්යන්තය විකුණන්නේ නැති බව එහිදී අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් මෙවර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද එහිදී ප්‍රකාශ කර තිබෙන අතර අප ජාතික ව්‍යාපාරයක් ලෙස එම කැබිනට් පත්‍රිකාව දෙස බලා 02 දිනයේ අපේ සියලු අදහස් ප්‍රකාශ කරනවා. 

එම කැබිනට් පත්‍රිකාව දකින තුරු එය මාධ්‍ය මගින් ප්‍රචාරය වන තුරු අපගේ අදහස් ප්‍රකාශ කරන්නෙ නැහැ. දැනට වරායේ ක්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය එසේම ක්‍රියාත්මක වනවා. කැබිනට් පත්‍රිකාව පිළිබඳව නිල නිවේදනය ලැබුණාට පසුව ඉදිරි තීරණ ගන්නවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම පිළිබඳව දෙවෙනි අධියර යටතේ ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩපිළිවෙල තාවකාලිකව නවතා දමනවා. 

නැගෙනහිර පර්යන්තය රැක ගැනීම සඳහා මෙම දිනවල විශාල පිරිසක් ඉතා වෙහෙස වී කටයුතු කරනවා. මෙවැනි සටන් ඉතා ඉවසීමෙන් සිදු කරන්න ඕනෙ. හැබැයි එය අප ඉතා හොදින් කලමණාකරනය කර තිබෙනවා. හෙට(02) දිනයේ අප යළිත් මාධ්‍යවේදීන් මුණගැසෙනවා අපගේ තීරණ පිළිබඳව දැනුම් දීමට.

කැබිනට් මණ්ඩලය තුළ අපට හිතවත් ඇමැතිවරුන් සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයක් වරාය අධිකාරිය සතුවිය යුතුයි. එය වෙනත් කිසිම ආයතනයකට, පුද්ගලයෙකුට දෙන්න බැහැ. එම මතයේ අප දැඩිව සිටිනවා. අප තීරණ ගන්නේ රජයක් දෙස බලා නොවෙයි. රටේ අනාගතය පිළිබදව සිතා අප කටයුතු කරනවා. 

ජනාධිපතිතුමා මේ පන්සලට ආව ගිය කෙනෙක්. අප පළමුව රටේ ජනතාවගේ කදුලු පිස දාන්න ඕනෙ. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පිළිබදව මුලු මහත් ජනතාවම කම්පාවට පත්වෙලා සිටින්නෙ. 

අප මේ අවස්ථාවේ කතා කරන්නෙ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන පමණයි. වරාය රැක ගැනීමේ අරගලයේ කප් එක ගන්න බොහෝ දෙනෙක් බලාගෙන සිටිනවා. ඇතැම් දේශපාලනඥයන් බොරදියේ මාලු බෑමට උත්සාහ කරන බව අප දන්නවා.පෙරලා දමන්න ඕනෙ අය පෙරලා දැමිය යුතුයි. ගොඩ නගන අය ගොඩ නගමු. මේ රට අගාදයට යන්න දෙන්න බැහැ. ඒකයි මම කියන්නෙ තරුණ පිරිස් වලට දේශපාලන වශයෙන් පෙරට පැමිණෙන ලෙස. මේ රටේ පාලනයට සම්බන්ද වූ සියලු දෙනා මේ රට වැටී තිබෙන තත්ත්වයට වග කියන්න ඕනෙ. අප මේ රට ආරක්ෂා කර ගතහොත් ඉදිරියේදී පිරිසිදු හුස්ම ටිකක් අරගෙන වස විසෙන් තොර ආහාරයක් ගැනීමට බටහිර ජාතීන් අපේ රටට පැමිණේවි.     

මෙහිදී අදහස් දක්වමින් වරාය වෘත්තීය සමිති නියෝජතයින් ප්‍රකාශ කළේ, අගමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී සියයට සියයක්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය ක්‍රියාත්මක කරන බව පැවසූ බවයි. සාකච්ඡාවේදී අගමැතිතුමාගෙන් නිල නිවේදනයක් ලැබුණ බවත් එම නිවේදනයේ වටිනාකම කැබිනට් පත්‍රිකාව සමග ලැබෙන බවද සදහන් කළේය. අගමැතිවරයාට වෘත්තිය සමිතිවල අදහස පැහැදිලිව සදහන් කළ බවද  එම නියෝජතයින් පැවසූහ. වරායේ නැගෙහිර ජැටිය රැක ගැනීමේ අරගලයට මාධ්‍ය ලබාදුන් සහයෝගය ඉතා අගය කරන බවද ප්‍රකාශ කළහ. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments