26.6 C
Sri Lanka
Friday, August 8, 2025
Homeදේශීය පුවත්විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1994 ක් යළි වින්දිතයින්ට...

විදේශ රැකියා වංචනිකයින්ට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 1994 ක් යළි වින්දිතයින්ට…

2025 වසරට විදේශ රැකියා පැමිණිලි 2620 ක්…

මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගෙවුණු මාස 7 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අයකරදීමට කටයුතු කළ බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීති නීතීඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදුකර තිබේ.

මේ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567 ක් වන අතර, එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලැබී තිබේ. තවද මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදුකරන ලද වැටලීම් ප්‍රමාණය 05ක් වන අතර, ඊට නීතිවිරෝධි ක්‍රියාවල යෙදුණු එක් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් වේ. මෙම කාලය තුළදී වංචනිකයින් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතරට, බලපත්‍රලාභී රැකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් 07ක්ද අයත්වේ.

මේ අතර, 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825 කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයින්ට යළි අය කර දීමට කාර්යාංශය සමත්වී ඇති අතර, පසුගිය වර්ෂයේදී විදේශ රැකියා ආශ්‍රිත පැමිණිලි 4658 ක් කාර්යාංශය වෙත ලැබී තිබේ.

ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රැමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වලකින ලෙස කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.

තවද, පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකථන අංකයට දැනුම් දෙන මෙන්ද කාර්යාංශය ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments