ඉන්දියාවේ, උත්තරාකන්ද් ප්‍රාන්තයේ චාමෝලි දිස්ත්‍රික්කයේ පිහිටි නන්දා දේවී කඳු පන්තියට අයත් ග්ලැසිරයක් ගංගාවක වේල්ලක් ආසන්නයට කඩා වැටීමත් සමග ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 150කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ චාමෝලි දිස්ත්‍රික්කය හරහා ගලා බසීනා රිෂි නම් ගඟේ වේල්ල ආසන්නයට මෙම ග්ලැසිරය කඩා වැටී ඇති බවයි.
සිද්ධියෙන් අතුරුදහන්ව ඇත්තේ එම ගඟේ ජල විදුලි යෝජනා ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා පැමිණ සිටි කම්කරුවන් පිරිසක් බවයි.
මේ දක්වා මියගිය පුද්ගලයින් තිදෙනෙකු ගේ මල සිරුරූ ආපදා කණ්ඩායම් විසින් සොයා ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම රිෂි ගඟේ වේල්ල ආසන්නයේ උමගක් ඉදිකිරීමේ කටයුත්තක් සඳහා ඒ තුල කම්කරුවන් 50 දෙනෙකු පමණ සිට ඇති බවට සැලකෙන අතර ඔවුන් ග්ලැසිරයේ කඩා වැටීමත් සමග ඊට යටවී මියයන්නට ඇති බව බලධාරින් විශ්වාස කර සිටිනවා.
ග්ලැසිරයේ කඩා වැටීමෙන් ගංගාවේ පිහිටි වේල්ලට දැඩි හානි සිදුව ඇති අතර පහත් බිම් වල සිටින ජනතාවට ආරක්ෂාකාරී ස්ථාන කරා හැකි ඉක්මනින් යන ලෙසට බලධාරින් උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර ආපදා සහ ගලවා ගැනීමේ කණ්ඩායම් සිදුවීම වූ ස්ථානයට ගුවන් මගින් පිටත් කර යැවීමට ඉන්දීය බලධාරීන් අවශ්‍ය පියවරගෙන තිබෙනවා.