සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකාච්ඡාවක් පැවත්වුණා. මේ සාකාච්ඡාවට අදාළව කරුණු ප්‍රමාණයක් ජපන් තානාපති කාර්‍යාලය හරහා මේ වෙද්දිත් මාධ්‍යට හෙළිදරව් කරලා තියනවා. නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ. අපි දන්නවා මේ ආණ්ඩුව පසුගියා අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව සමග ගිවිසුම් ප්‍රමාණයක් අතසන් කළා. නමුත් අදටත් ඒ ගිවිසුම් ගැන ඇහුවම ආණ්ඩුව නිහඬයි. හැබැයි දැන් මන්නාරමට ගියාම, ත්‍රිකුණාමලයට ගියාම අපිට අත්දකින්න පුලුවන් එදා ජනතාවට හොරෙන් අත්සන් කරපු ගිවිසුම්වල තිබුණ කොන්දේසි මොනවද කියලා. අද ඒ ප්‍රදේශවල ජනතාව බලහත්කාරයෙන් එලවලා ඉන්දියානු සමාගම්වලට ඉඩම් ටික විකුණනවා. අන්න ඒක නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුවෙන් ජපානයත් එක්ක මේ පැවති සාකාච්ඡාවේදී කතාකලේ මොනවද? කියලා. මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි හිතන විදිහට කාටත් වැඩිය රටේ ජනතාවට අයිතියක් තියනවා ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.
නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් තමයි පසුගියා සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදි මේ සාකාච්ඡාව ඇතිකරගන තියෙන්නේ. ජපානය පැත්තෙන් කියන විදිහට ලංකාවේ නාවික හමුදාවන්ට ගුවන් යානා පුහුණු වීම් සඳහා සහයෝගය ලබා දීමට එකඟවෙලා තියනවා. ඊලගට UAV වර්ගයේ ඩ්‍රෝන යනා ලබා දීමටත් මෙහිදී එකඟතාවයක් ලැබිලා තියනවා. ඒ වගේම තමයි කලාපයේ රටවල විවිධ දේශපානලන සහ යුධමය මැදිහත්වීම් ගැන මෙහිදී කරුණු රැසක් සාකාච්ඡා කරල තියනවා. දැන් මේ සාකාච්ඡාව අතිශයින් සාර්ථකයි කියලා තමයි ජපානය පැත්තෙන් නිවේදනය කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ රජය හෝ කැබිනට් ඇමතිවරයා මේ සාකාච්ඡාව සම්බන්ධයෙන් තවමත් කෙළ පිඬක්වත් හැලුවේ නෑ.
අපි දන්නවා OSA එහෙමත් නැත්තං නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන සාකාච්ඡාව මුලින්ම ඇතිවුනේ 2022 අවුරුද්දෙදි. ඒ ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ වෙලාවේ ජපන් කැබිනෙට්ටුවේ තීරණයකට අනුව ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඔවුන් සකස් කලා OSA නමින් ප්‍රතිපත්ති මාලාවක්. අද වෙද්දි බංගලිදේශය, මැලේශියාව, මොංගෝලියාව වගේ රටවල් මේ ප්‍රතිපත්තිය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් යනවා. දැන් ජපානය විසින් නැගෙනහිර ටිමෝරය, පැපුවා නිව්ගීනියා, තායිලන්තය, පිලිපීන සහ ලංකාව වගේ රටවල් එක්කත් සාකාච්ඡා කරමින් ඉන්නේ ඒ 2022 දී කරළියට ගෙනාව වැඩපිළිවෙළ ගැනම තමයි.