


ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නෙල්සන් මැන්ඩෙලා ජාත්‍යන්තර දිනය සැමරීමේ අරමුණින් ජූලි 17 වැනි බ්‍රහස්පතින්දා මට්ටක්කුලිය ක්‍රෝ අයිලන්ඩ් (Crow Island) වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කළේය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන ප්‍රධානියා (Chargé d’Affaires) වන නිථබිසෙන්ග් රමාට්ෂෙලාගේ (Ms. Nthabiseng Ramatshela) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මැන්ඩෙලා දිනයේ ලොව පුරා ක්‍රියාත්මක වන “සමාජයට යහපත් දායකත්වයක් ලබා දීම සඳහා තම කාලය කැප කිරීම” යන සංකල්පය අනුව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර, නෙල්සන් මැන්ඩෙලා මහතාගේ වසර 67ක මහජන සේවය අගය කරමින් විනාඩි 67ක් ප්‍රජා සේවයට කැප කිරීමේ සම්ප්‍රදායද මෙහිදී සිහිපත් කෙරිණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අප්‍රිකා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් එම්. එච්. එම්. එන්. බණ්ඩාර, Clean Ocean Force සංවිධානයේ සභාපති සහ සම-නිර්මාතෘ ජෙරෝම් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව, මාලදිවයින, කසකස්තානය, කියුබාව තානාපති කාර්යාලයේ නියෝජිතයින් සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා ජාතික මූල්‍ය උපදේශක ආචාර්ය ජිනා මස්වාබි, පොලිස් පරිසර අංශයේ නිලධාරීන්, දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, අනුග්‍රාහකයින් සහ ස්වේච්ඡා සේවකයින් එක්ව සිටියහ.
මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් පරිසර සංරක්ෂණයේ වැදගත්කම අවධාරණය කළ අතර, නෙල්සන් මැන්ඩෙලාගේ අමරණීය උරුමයෙන් ආභාසය ලැබූ සේවය, සහයෝගිතාව සහ ප්‍රජා සහභාගීත්වය යන වටිනාකම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමද එහි අරමුණ විය.



