ලෝක කම්කරු ජනතාව ලෙයින්,කඳුලින් සහ ස්වකීය ප්‍රාණ වායුවෙන් දිනාගත් ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ.
කෙසේ වෙතත් මෙවර ද මැයි දිනය එළඹෙන්නේ සමස්ත මිනිස් සංහතියම වෛරසයක් හේතුවෙන් මහත් ව්‍යසනයකට මැදිව බරපතල පීඩාවකට ලක්ව ඇති මොහොතකය . සාමාන්‍ය දිවි පැවැත්මට අසාමාන්‍ය එරෙහිවීමක් සිදුකරමින් ලෝකයම දෙවසරක් තිස්සේ පීඩා විඳිමින් සිටී.
මෑත සියවස තුළ ලෝක ආර්ථිකයට මෙතරම් බලවත් පීඩාවක් එල්ලකළ වකවානුවක් සොයා ගැනීම පවා දුෂ්කර ය.මේ හේතුකොටගෙන වඩ වඩාත් දුෂ්කරතාවයකට පත්ව ඇත්තේ කම්කරු ප්‍රජාව ය.බිලියන ගණනක් ජනතාවට රැකියා අහිමි වී ඇති අතර ,ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිතය සහමුලින්ම ව්‍යාකූලත්වයට පත් ව තිබේ .අපේ මාතෘභූමියේ තත්ත්වය ද මීට වෙනස් නැත. මේ මහා ව්‍යසනය මැදත් අපේ මාතෲභූමියේ තිර පැවැත්ම උදෙසා අප්‍රමාණ කැපවෙන,දාඩිය හෙළන සියලූම කම්කරු ජනතාවට අපගේ උත්තමාචාරය පුද කරමු.
මේ ව්‍යසනකාරී අවස්ථාවේ එකිනෙකා අත් නොහැරනොහැර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගනිමින් මිනිසාට මිනිසා විසින් උදව් කළ යුතු තීරණාත්මක තත්ත්වය උදාවී තිබේ.ජීව රසායනික අවියක් හෝ ත්‍රස්තවාදී ප්‍රහාරයක් හෝ නොව එක්තරා කුරිරු වෛරසයක් විසින් ලෝකය ම ස්වකීය පාලනයට ගන්නට සමත් වී තිබේ.
වෛරසය පරාජය කළද වෛරසය විසින් ඉතිරි කරනු ලැබූ ඛේදනීය තත්ත්වයන් බොහෝ කලකට පිළිසකර කළ නොහැකි වනු ඇත.
අපේ රටේ කම්කරු ජනතාවගෙන් අතිමහත් ප්‍රමාණයකට මේ වනවිටත් රැකියාමය වශයෙන් බරපතල ගැටලු නිර්මාණය වී තිබේ.ගුරු,සෞඛ්‍ය , ගොවි,ධීවර,වතු,ප්‍රවාහන, ඇතුලුකොට සමස්ත කම්කරු ප්‍රජාව බලවත් පීඩාවක් රැසකට මුහුණ දී සිටී.ජීවිතය පරදුවට තබා ස්වකීය මෙහෙවර ඉටු කරන අත්‍යාවශ්‍ය සේවාවන්හී පිරිස් පවා පාලකයින්ගේ අවධානයෙන් ගිලිහී ගොස් තිබේ.අදූරදර්ශි ආර්ථික කළමනාකරණය හේතුවෙන් දේශීය සම්පත් කුණුකොල්ලයට විකුණා දමන තත්ත්වයක් උද්ගතව තිබේ.ඒ අතරතුර විරුද්ධවාදීන්ට එරෙහිව රාජ්‍ය මර්ධනය එල්ල වී තිබේ.රට ගොඩනගන න්‍යාය පත්‍රය පසෙක ලා බලලෝභී න්‍යාය පත්‍රය පෙරට ගෙන රටත් ජනතාවත් අන්ධකාරය වෙත රැගෙන යාමේ කුප්‍රකට මෙහෙයුම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටි. පෞද්ගලික න්‍යාය පත්‍ර කරපින්නා ගත් ආණ්ඩුව ඉදිරියේ ව්‍යවසායකයින්,තරුණයින්,ව්‍යාපාරිකයින්,ඇතුලු සියලු බලවේග අපේක්ෂාභංගත්වයට පත්ව සිටී.
මේවාට එරෙහිව සමස්ත රටවැසියා බලමුළු ගන්වන මෙහෙයුම අප ඉදිරියේ තිබේ.කොරෝනා ව්‍යසනයට මුවා වී මාතෘභූමියේ ස්වෛරිත්වය ,ප්‍රෞඩත්වය සහ, අභිවෘද්ධිය පාවා දීමට එරෙහිව සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙරට එන බව සපථ කරමු.සමස්ත කම්කරු ජනතාවට වාසනාවන්ත හෙට දිනක් උදාවේවා.
විපක්ෂනායකගේ මැයි දින පණිවුඩය.
RELATED ARTICLES