26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්සති දෙකක සංචරණ සීමා පැනවීමේ වැදගත්කම විශේෂඥයින් පෙන්වාදෙති.

සති දෙකක සංචරණ සීමා පැනවීමේ වැදගත්කම විශේෂඥයින් පෙන්වාදෙති.

සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳ විශේෂඥයින් පෙන්වා දෙති.

මෙහිදි හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් මහතා අදහස් පළ කරමින් කියා සිටින්නේ.

ඒ මහතා ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන මහාචාර්ය මලික් පීරිස් මහතායි. මීට දින දෙකකට ඉහත දී වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට හොංකොං හී සිට එක්වෙමින් ඒ මහතා මෙසේද කීවේය…

“ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩිවෙනවා. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. සමහර විට අප්‍රේල මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් නැහැ. ඒ වගේම මේ වන විට ලොක්ඩවුන් කිරීම ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

ලොක්ඩවුන් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළ රැඳී සිටීමට සීමා කිරීම. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් කොටු වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නෑ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බෑ. ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද? එය පිටුපස විද්‍යාවක් තියෙනවා. අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක්. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා. ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා.

ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින 5ක් පමණ. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින 5ක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින 5කට තවත් දින 5ක් හෝ 7ක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි.

අන්න ඒ නිසා තමයි දින 3ක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ. මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම හදිසියේ පරිපථ බිඳිනයක් අවශ්‍ය වෙලා තියෙනවා. පැතිරයාම සීම කිරීම හරහා ඇත්ත වශයෙන් ම කියනවා නම් සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න. “

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14ක අඛණ්ඩ දැඩි සංචරණ සීමාවක් පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

ඒ සඳහා විද්‍යාත්මක පදනමක් ඇති බව හෙතෙම පෙන්වා දෙයි.

මෙහිදි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියාසිටියේ.

“මේ වෛරස් එක පාලනය කරන්න හොඳම ක්‍රමය තමයි එන්නත්කරණය. ඒ ගැන තර්කයක් නෑ. හැබැයි දැන් අපි ඉන්න අවස්ථාවෙන් ගොඩ එන්න අපිට සංචරණ සීමා කරන්න ඕනේ. එතකොට අඛණ්ඩව දවස් 14ක් සංචරණ සීමා තියෙන්න ඕනේ. ඒක තමයි විද්‍යාත්මක පදනම. වෛරසය ශරීරය තුළ තිබිලා රෝග ලක්ෂණ නැතුව තියෙන්න පුළුවන්. වාහකයින් බවට පත්වෙන්න පුළුවන්. සංචරණ සීමා කැඩුවොත් වෙන්නේ එළියට ගිය පුද්ගලයා, වෙනම පිරිසකට ආයම කොවිඩ් පොකුරක් හැදෙනවා. එතකොට තව පොකුරු බිහිවෙනවා. “

ආර්ථික ක්‍රියාවලිය කෙසේවෙතත් සෞඛ්‍ය විද්‍යාත්මක දත්ත අනුව වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ ගියද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙනයාම අත්‍යවශ්‍ය කරුණක් බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments