21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeවිදේශීය පුවත්ඊශ්‍රායල-පලස්තීන ගැටුම සහ එක්සත් ජනපද මැදිහත්වීම

ඊශ්‍රායල-පලස්තීන ගැටුම සහ එක්සත් ජනපද මැදිහත්වීම

      ඇමෙරිකා එක්සත් ජනපදය දීර්ඝ කාලයක්  තිස්සේ ඊශ්‍රායල-පලස්තීන ගැටුම සඳහා විසඳුමක් ලබාදීමට උත්සාහ කළේ ය. එහෙත්, එම දෙරට අතර සහ රටවල් අභ්‍යන්තරයේ පැවති ගැඹුරු බෙදීම් සහ සාම්ප්‍රදායිකත්ව මතවාද හේතුවෙන් ඒ සඳහා වූ   එක්සත් ජනපදයේ අවංක වුවමනාව  බිඳ වැටිණි.   එනිසා, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සාම ගිවිසුමක් ඇතිවීමට තිබුණු  ඉඩ කඩ ඇහිරී ගියේ ය.

ඊශ්‍රායල් ජනතාව සහ පලස්තීනුවන් අතර දශක ගණනාවක් තිස්සේ පවත්නා මෙම ගැටුමට මුල් වී ඇත්තේ, යෙරුසලම ශුද්ධ භූමිය සඳහා වන  තරගය යි.  ඊට අමතරව, දෙරට  දේශසීමා ප්‍රශ්න, යෙරුසලමේ  ආරක්ෂාව සහ පලස්තීන සරණාගතයන් පිළිබඳ ගැටළු ද මෙම ගැටුමට මූලික වී තිබේ.

       එක්සත් ජනපදය පෙන්නා දෙන ආකාරයට දිගු කලක් තිස්සේ ඔවුන් උත්සාහ කර ඇත්තේ රටවල්  දෙකක් අතර ඇති විය හැකි ගැටුමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා දීමට ය. ට්‍රම්ප් පරිපාලනය විසින් මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව ලද ප්‍රතිඵල බෙහෙවින් තර්ජනයට ලක් වූ අතර, ජනාධිපති බයිඩන්  බලයට පත්වීමෙන් පසු මේ සම්බන්ධ එක්සත් ජනපදයේ කැපවීම යළිත් තහවුරු කරමින් තිබේ.

       ඊශ්‍රායල ජාතිකයන් හා   පලස්තීනුවන් අතර පවත්නා මෙම ගැටුම  ලොව වඩාත් දීර්ඝතම හා නොවැළැක්විය හැකි ගැටුම බවට පත්ව තිබේ.  එක්සත් ජනපදය ඊශ්‍රායලයේ ප්‍රබල ආධාරකරුවෙකු වුව ද, සාම්ප්‍රදායිකව දෙපාර්ශ්වයේ ම තරගකාරී හිමිකම් සමථයකට පත් කරන රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ඉදිරිපත් කිරීමට ඇමෙරිකාව උත්සාහ දරා තිබේ.

      එක්සත් ජනපද  පරිපාලනය සාම ක්‍රියාවලියක් සඳහා විසඳුමක්  මීට පෙර යෝජනා කර ඇති අතර,  එමගින්  ඊශ්‍රායලය සහ පලස්තීනය යනුවෙන් රාජ්‍ය දෙකක් නිර්මාණය වේ. කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයන්  පෙන්නා දෙන්නේ මෙම ගැටුමට මූලික වූ කරුණු  සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රතිපත්ති රාශියක් ක්‍රියාත්මක කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ මෙම ‘රාජ්‍ය දෙකක්’ පිළිබඳ  විසඳුම සම්බන්ධ  අපේක්ෂාවන් ගිලිහී ඇති බව යි.

    ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති නව ප්‍රතිපත්ති මගින් කලින් තීරණ සමහරක් අහෝසි වන අතර,  යෙරුසලමේ පවත්නා තත්ත්වය අනුව, ඒවායින්  සමහර ප්‍රතිපත්ති නොවෙනස්ව පවතිනු ඇත.

      කලින් ද සඳහන් කළ පරිදි ඊස්රායල- පලස්තීන ගැටුමට මූලික වී ඇත්තේ,  කිතුනුවන්ට, යුදෙව්වන්ට සහ මුස්ලිම්වරුන්ට විශාල ආගමික හා ඓතිහාසික වැදගත්කමක් ඇති මැද පෙරදිග කලාපයක් වන යෙරුසලම ශුද්ධ භූමිය පිළිබඳ සියවසක කාලයක් තිස්සේ පවත්නා භෞමික ආරවුල ය.

    1896 දී තියඩෝර් හර්ස්ල්ගේ යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව යුදෙව්වෝ වැඩි වැඩියෙන් ‘ඔටෝමාන්’ පලස්තීනයට  නොහොත්,  අරාබි කලාපයට සංක්‍රමණය වන්නට පටන් ගත් හ. එය, යුරෝපයේ දී ඔවුනට එල්ල වූ යුදෙව් විරෝධයෙන් බේරීම සඳහා වූ ඔවුන්ගේ පුරාණ නිජබිමෙහි තෝතැන්නක් පිළිබඳ අදහස ප්‍රවර්ධනය කළේ ය. දෙවන ලෝක යුද සමයේ දී නාසි ජර්මනිය යුදෙව්වන් මිලියන හයක් සමූහ ඝාතනය කිරීමෙන් පසුව මෙම සංක්‍රමණ බෙහෙවින් වේගවත් වී ය.

    ඉන්පසුව, වසර ගණනාවක් පුරා පැවති  අරාබි-යුදෙව් ප්‍රචණ්ඩත්වයෙන් පසු 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පලස්තීනයේ ප්‍රාන්ත දෙකක් පිහිටුවීම සඳහා සිය චන්දය ලබා දුන්නේ ය, ඉන් එකක්  යුදෙව්වන්ටත්, අනෙක අරාබි ජාතිකයන්ටත් වශයෙනි. ඉන් ටික කලකට පසු, පලස්තීනයේ යුදෙව් ප්‍රජාව සිය ප්‍රාන්තය ඊශ්‍රායලය නමින් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කළෝ ය. තවත් ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් සංක්‍රමණය වීමට එය මහත් පෙළඹවීමක් වූ අතර, අසල්වැසි අරාබි රාජ්‍යයන් විසින් දියත් කරන ලද යුද්ධය එය තවදුරටත් වේගවත් කළේ ය.

        පලස්තීන අරාබිවරුන් පවසන්නේ යුදෙව්වන් එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය ඇතුළු බටහිර බලවතුන්ගේ සහාය ඇතිව ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ මව්බිම පැහැරගෙන ඇති බව ය. ඔවුන් විසින් පිහිටුවා ගන්නා ලද ඊශ්‍රායලය  මිත්‍ර පාක්ෂික අරාබි හමුදාවන් විසින් 1948 යුද්ධයේ දී පරාජය කිරීමේ දී පමණක් පලස්තීනුවන්ගේ ජීවිත හත්ලක්ෂයකට වඩා උදුරාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවල සඳහන් වේ.

      එතැන් පටන් ගත වූ දශක ගණනාවක් පුරා ඊස්රායල්-පලස්තීන ආරවුල දිගින් දිගට ම ගැටුම්වලට තුඩු දී තිබේ. එහි එක් ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ 1967 පැවති සය දින යුද්ධය යි. එය අවසන් වූයේ,  ඊශ්‍රායලය විසින් නැගෙනහිර යෙරුසලම, බටහිර ඉවුර සහ ගාසා තීරය අල්ලා ගැනීමෙනි. ඉන් අනතුරුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් 242 වන යෝජනාව සම්මත කරන ලදි. අරාබි-ඊශ්‍රායල් ගැටුම අවසන් කිරීම සඳහා අනාගත රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පදනම බවට පත්වූයේ, එම යෝජනාව යි.

         අද වන විට මෙම කලාපය තුළ ගාසා තීරයේ මිලියන 2 ක් සහ බටහිර ඉවුරේ මිලියන තුනක් පමණ පලස්තීනුවෝ වාසය කරති. ඊශ්‍රායලයේ මිලියන 9.2 ක පදිංචිකරුවන්ගෙන් බහුතරයක් යුදෙව්වන් වුව ද,  එහි අරාබි පුරවැසියන් ද මිලියන දෙකක් පමණ සිටිති. එසේ වුව ද, දේශපාලන විසඳුමක් සඳහා වන ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන් සීමිත ප්‍රගතියක් ලබා ඇත. ඉතාමත් මෑතක සිට එක්සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකත්වය මූලික කරුණු කිහිපයක් විසඳීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

    ඉන් එකක් දේශසීමා ගැටළුව ය. ද්වි-රාජ්‍ය විසඳුම ලෙස පොදුවේ හැඳින්වෙන ඊශ්‍රායලය සහ පලස්තීනය යනුවෙන් වෙන ම ‘රාජ්‍ය දෙකක්’ පිහිටුවීමේ සංකල්පයට දශක ගණනාවක් තිස්සේ සැලකිය යුතු ජාත්‍යන්තර සහයෝගයක් ලැබී ඇත.

     රාජ්‍යයන් දෙකක් පිළිබඳ විසඳුමක් ප්‍රවර්ධනය කරන බොහෝ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික කටයුතු හේතුවෙන් 1967 ට පෙර පැවති දේශසීමා ක්‍රමවේදයකට ආපසු ගමන් කරන්නට ඊශ්‍රායලය කැමැත්තක් දක්වයි. එහෙත්,  එසේ කිරීමෙන් එම දේශසීමා තුළ සිටින පලස්තීනුවන්ට සහ ඉන් ඔබ්බට ජීවත් වන යුදෙව් ඊශ්‍රායලිකයන්ට එය කෙසේ බලපානු ඇති ද  යන්න පිළිබඳ එහි සම්මුතියක් නොමැත.

     2019 මාර්තු මාසයේ දී එක්සත් ජනපදය  ඊශ්‍රායලයේ ස්වෛරීභාවය පිළිගත් අතර,  2020 ජුනි වන තෙක් ම  එසේ කළ එක ම රට බවට පත්ව සිටියේ එක්සත් ජනපදය යි.

       ගැටළුවට මූලික වී තිබෙන මතභේදාත්මක නගරය වන යෙරුසලම,  ඊශ්‍රායලයේ හා බටහිර ඉවුරේ මායිම හරහා වැටී තිබේ. ඊශ්‍රායලය මුළු යෙරුසලම්  නගරය ම එහි අගනුවර ලෙස සලකන අතර, . පලස්තීනුවන් තම රාජ්‍යයේ අගනුවර ලෙස සලකන්නේ නැගෙනහිර යෙරුසලම යි. ‘රාජ්‍ය දෙකක’ විසඳුම සඳහා පලස්තීන අගනුවරක් නැගෙනහිර යෙරුසලමේ පිහිටා තිබීම අත්‍යවශ්‍ය වේ.

   1948 සහ 1967 යුද්ධවලින් පලස්තීන සරණාගතයන් මිලියනයක් පමණ බිහි වී ය. එහි දී දිවි ගලවා ගත් අය සහ ඔවුන්ගෙන් පැවත එන්නන් වන ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව යන රටවල වාසය කරන  අතර, 1948 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාවක සහායෙන් ඊශ්‍රායලයට නැවත පැමිණීමේ අයිතිය ඔවුහු ඉල්ලා සිටිති.

   යුද්ධයෙන් දිවි ගලවා ගත් අයගෙන් පැවතෙන්නන් ද, එම අයිතිය ඇති සරණාගතයන් ලෙස සැලකිය යුතු ද යන්න පිළිබඳ විවාදය දිගට ම පවතී. ඔවුන්ට නැවත ඊශ්‍රායලයට පැමිණීමේ අයිතිය ලබාදීම යුදෙව් රාජ්‍යයක් ලෙස තම පැවැත්මට තර්ජනයක් ලෙස ඊශ්‍රායලය දකී.  සරණාගතයන් පලස්තීන රාජ්‍යයට යා යුතු යැයි ඔවුන් විශ්වාස කරන හෙයින්,  එය රාජ්‍ය දෙකක විසඳුමක කොටසක් ලෙස නිර්මාණය වනු ඇත.

       සමහර පලස්තීන සටන්කාමී කණ්ඩායම් තම පැවැත්මට තර්ජනයක් ලෙස ඊශ්‍රායලය සලකයි.  විශේෂයෙන් ම ඊශ්‍රායලය විනාශ කිරීමට ප්‍රතිඥා දී ඇති, ගාසා තීරය පාලනය කරන ‘හමාස් සංවිධානය’ සහ ‘ඉස්ලාමීය සංවිධානය’ මේ අතර ප්‍රධාන වේ. ඔවුන්ගේ මරාගෙන මැරෙන බෝම්බ සහ රොකට් ප්‍රහාර සාමාන්‍යයෙන් ඉලක්ක කරන්නේ ඊශ්‍රායල සිවිල් වැසියන් ය. ඊශ්‍රායලයට අවශ්‍ය වන්නේ මෙම කණ්ඩායම් නිරායුධ කර පලස්තීන රාජ්‍යය හමුදාකරණයට ලක්කිරීමට ය.

     එසේ වුව ද,  පලස්තීනුවන්ට ශක්තිමත් පොලිස් බලකායක් තිබිය යුතු බව ඊශ්‍රායලය පිළිගනී. ඊශ්‍රායලයේ මිලිටරි මැදිහත්වීම්  අවසන් කිරීමට පලස්තීනුවන් උත්සාහ දරන අතර, ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ තමන්ගේ ම  පූර්ණ පාලනයක් අවශ්‍ය බව පිළිගනී. ඒ අතර, පලස්තීන භූමියේ ආරක්ෂාවට ඇති තර්ජනයන්ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව දිගින් දිගට ම පවත්වා ගැනීමට ඊශ්‍රායලයට අවශ්‍යව තිබේ.

      සෑම පාර්ශ්වයක් ම තම රාජ්‍යය අනෙකා විසින් මෙන් ම,  ජාත්‍යන්තර ප්‍රජාව විසින් ද පිළිගත යුතු යැයි දෙපාර්ශ්වය ම විශ්වාස කරයි. බොහෝ ඊශ්‍රායල් යුදෙව්වන්ට ඊශ්‍රායලය යුදෙව් රාජ්‍යයක් ලෙස පිළිගැනීමට අවශ්‍ය වී ඇති අතර,  පලස්තීනුවන්ට අවශ්‍ය වන්නේ කිසියම් ව්‍යසනයකින් ඊශ්‍රායලය විනාශවනු දැකීම ය.

       පලස්තීනය සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වය ම මෙම ගැටුම් අවසන් කර එක්-එක් පාර්ශ්වවල  ප්‍රකාශයන්ට ගරු කරන සාම ගිවිසුමක් අපේක්ෂා කරති. එවිට අරාබි ලීගයේ අරාබි සාම මුලපිරුමෙ හි දක්වා ඇති පරිදි සියලු අරාබි රාජ්‍යයන් සමඟ වන ඊශ්‍රායල සබඳතා සාමකාමී වී  සාමාන්‍යකරණයට මග පාදනු ඇත.

      දෙරට පවත්නා මෙම ආරවුලේ එක්සත් ජනපද අවශ්‍යතා අතර අත්‍යවශ්‍ය බලශක්ති සම්පත් සුරක්ෂිත කිරීම, සෝවියට් හා ඉරාන බලපෑම් වළක්වා ගැනීම, ඊශ්‍රායලයේ හා අරාබි සහචරයන්ගේ පැවැත්ම සහ ආරක්ෂාව සහතික කිරීම, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම යන කාරණා ප්‍රධාන වෙයි.  මෙම අන්තර් සම්බන්ධිත අරමුණු රැසක් අනුගමනය කිරීම සඳහා එක්සත් ජනපදයට මැද පෙරදිග බොහෝ සෙයින් වැදගත් වෙයි.

     එසේ ම,  ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම සහ සරණාගතයන් අඩු කිරීම මෙන් ම, ඊට අනුරූපව, කලාපීය ගතිකත්වයේ ප්‍රධාන ගාමක බලවේගයක් වන ඊස්ශ්‍රායල්-පලස්තීන ගැටුම නිරාකරණය කිරීමට එක්සත් ජනපදය උත්සාහ කරමින් සිටී. මෙම උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කරගැනීම කෙරෙහි අවධානය යොමුකර ගනිමින් එක්සත් ජනපදය  ඊශ්‍රායලයට දක්වන සහයෝගය සමතුලිත කරගැනීම පුළුල් කලාපීය ස්ථාවරත්වයක් සඳහා මග පාදයි.

     කෙසේ වෙතත්, ලොව සමහර දේශපාලන විශ්ලේෂකයන් පෙන්නා දෙන්නේ ගැටුම් නිරාකරණය සඳහා එක්සත් ජනපදයේ පැවති උනන්දුව මෑත වසරවල දී බෙහෙවින් අඩු වී ඇති බව ය.  2011 දී ‘අරාබි වසන්තය’ ආරම්භ වීමෙන් පසුව සිරියාවේ සහ යේමනයේ ඇති වූ යුද්ධ හා වෙනත් කලාපීය ගැටුම් මෙන් ම,  කලාපයේ ආධිපත්‍යය සඳහා ඉරානයෙන් සිදුවන බලපෑම් මේ සඳහා හේතු වී තිබේ. එක්සත් ජනපද අවශ්‍යතාවන්ට වැඩි වශයෙන්  තර්ජන එල්ල වන්නේ, ‘අල්කයිඩා’ හා ‘ඉස්ලාමීය රාජ්‍යය’ වැනි ත්‍රස්ත කණ්ඩායම්වලිනි. 

      ඉරානය සහ අරාබි ගල්ෆ් රාජ්‍යයන් සමඟ ඇති එක්සත් ජනපද සබඳතා  ඊශ්‍රායල-පලස්තීන ප්‍රශ්න සමඟ බැඳී නොමැති  හෙයින්, ඒවා මෙම ප්‍රමුඛතාව අඩුවීමට හේතුවක් ⁣ නොවන බව  මැද පෙරදිග සාම සාකච්ඡා සම්බන්ධයෙන් බැරක් ඔබාමා පාලන සමයේ ධවල මන්දිරයේ සේවය කළ හිටපු සීඑෆ්ආර් සාමාජික පිලිප් එච්. ගෝර්ඩන් පවසා තිබේ. 2021 ජනවාරියේ දී ඔහු උප ජනාධිපති කමලා හැරිස්ගේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ලෙස පත් කරනු ලැබ තිබේ.

      ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” මගින් ඉස්මතු කර දැක්වෙන පරිදි ලොව අනෙකුත් කලාපවලට ප්‍රමුඛතාව ලැබීමත් සමඟ විශාල මැද පෙරදිග කලාපය කෙරෙහි එක්සත් ජනපදයේ උනන්දුව මැකී ගියේ ය. එහි සැලකිය යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සමඟ ට්‍රම්ප් පරිපාලනය අරමුණු කළේ ඊශ්‍රායලයට පක්ෂව ගැටුම නිරාකරණය කර පලස්තීනුවන්ට විසඳුමක් ලබා දීමට ය.

     එක්සත් ජනපදය අඩ සියවසකට වැඩි කාලයක් තිස්සේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර තිබේ.  සමූල ඝාතනයකින්  දිවි ගලවා ගත් එක් ලක්ෂයක් පලස්තීනුවන්ට යුදෙව් හෝ අරාබි නොවූ රාජ්‍යයක නැවත පදිංචියට යාම නිර්දේශ කළ 1946 එක්සත් රාජධානිය දියත් කළ විමර්ශනයට ද ඇමෙරිකාව මැදිහත් වූවේ ය. ඊශ්‍රායලය ස්වෛරී ජාතියක් ලෙස පිළිගත් පළමු රට බවට පත්වූයේ ද එක්සත් ජනපදය යි. ඒ 1948 දී ය.

     1967 පැවති සය දින යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ එක්සත් ජාතීන් සමඟ අරාබි-ඊශ්‍රායල ගැටුමට පුළුල් ලෙස මැදිහත්වන්නට එක්සත් ජනපදය උත්සාහ කළේ ය. කෙසේ වෙතත්, 1973 පැවති යුද්ධයේ දී ඊජිප්තු හා සිරියානු හමුදා ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වීමට මුල දී තනිව සටන් කළ ඊශ්‍රායලය, අනාගත රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා පෙරමුණ ගන්නා ලෙස එක්සත් ජනපදයෙන්  බලකර ඉල්ලා සිටියේ ය.  ඊශ්‍රායලය එම ගැටුම මිලිටරිමය වශයෙන් ජයග්‍රහණය කළ ද, එහි දී  අරාබි බලවත්තු දැඩි  මානසික පහරක් ඊශ්‍රායලයට එල්ල කළෝ ය.

     යුද්ධය එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තියේ ප්‍රධාන සන්ධිස්ථානයක් වූ අතර, එය අරාබි තෙල් නිෂ්පාදකයන්ට එක්සත් ජනපදයට එරෙහිව  තෙල් සම්බාධක පනවන්නට කරන ලද පෙළඹවීමක් වී ය. එසේ ම,  එය ඊශ්‍රායලයට සහාය දක්වන එක්සත් ජනපදයක් සහ ඊජිප්තුව සහ සිරියාව සන්නද්ධ කරන  සෝවියට් සංගමයක් බිහි කරන ලද අතර,  පසුව එය න්‍යෂ්ටික ගැටුමක් තෙක් සමීප කළේ ය. “පලස්තීන ජනතාවගේ එකම නීත්‍යනුකූල නියෝජිතයා” ලෙස 1974 දී අරාබි ලීගය විසින්  පලස්තීන විමුක්ති සංවිධානය (PLO) පිළිගැනීමත් සමඟ පලස්තීන අරමුණු සඳහා යුද්ධය මහත් පිටුවහලක් වී ය.

     1947 සිට 2020 දක්වා වූ ඊශ්‍රායල-පලස්තීන සබඳතාවල කාල රාමුවකට අවධානය යොමුකිරීම මෙහි දී වැදගත් වනු ඇත.

      1947 දී අංක 181දරන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව මගින් පලස්තීනය යුදෙව් සහ අරාබි රාජ්‍යවලට බෙදිය යුතු යැයි ඉල්ලා සිටි අතර, යෙරුසලම නගරය එමගින්  වෙන ම ආයතනයක් ලෙස නම් කෙරිණි.

    1948 දී  ඊශ්‍රායලය එම යෝජනාව  පිළිගෙන එහි නිදහස ප්‍රකාශයට පත් කළ අතර, එහි පැවැත්මට විරුද්ධ අසල්වැසි අරාබි රටවලින් හමුදාවන් පලවා හැරියේ ය. තව ද, අංක 194 දරන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනාව මගින් පලස්තීනුවන්ට නැවත පැමිණීමේ අයිතිය තහවුරු කෙරිණි.

   1967 වර්ෂයේ දී අරාබි රාජ්‍යයන් බලමුළු ගැන්වීමකට ප්‍රතිචාර දැක්වූ  ඊශ්‍රායලය ගෝලාන් කඳු, නැගෙනහිර යෙරුසලම සහ බටහිර ඉවුර, ගාසා තීරය සහ සීනයි අර්ධද්වීපය අල්ලා ගත්තේ ය. අනාගත එක්සත් අරාබි-ඊශ්‍රායල් සාකච්ඡා වල පදනම බවට පත්වන “සාමය සඳහා භූමිය” යන දැක්ම අංක 242 දරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව  මගින් නිරූපණය වන්නකි.

    1973 දී අරාබි රාජ්‍යයන්ගේ සන්ධානයකට එරෙහිව පැවති තුන්වන අරාබි-ඊශ්‍රායල් යුද්ධය අතරතුර, ඊශ්‍රායලයට අහිමි වූ භූමිය නැවත ලබා ගැනීම සඳහා  සටන් විරාමයක් සංවිධානය කිරීම සහ තමන්  ප්‍රමුඛ සාම ක්‍රියාවලිය දියත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය, ඊශ්‍රායලයට සහාය දැක්වීය.

    1978 -1979 වකවානුවේ දී එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර්, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් සහ ඊශ්‍රායල අගමැති මෙනචෙම් ඩේවිඩ්, කැම්ප් ඩේවිඩ් හිදී  හමුවී  පලස්තීන ස්වාධීනත්වය ඇතුළු මැද පෙරදිග සාමය සඳහා වැඩසටහනක් සකස් කළෝ ය. එහි වැඩිදුර සාකච්ඡාවලින් පසු ඊජිප්තුව සහ ඊශ්‍රායලය සාම ගිවිසුමක් අත්සන් කළේ ය.

        1987 සිට 1993 දක්වා වූ යුගයේ ඇති වූ පළමු ගැටුම  පුළුල් ප්‍රචණ්ඩත්වයකට තුඩු දුන් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායල ජාතිකයන් සිය ගණනක් සහ පලස්තීනුවන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබේ.

      1988 වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරෆත් ඊශ්‍රායල-පලස්තීන සාකච්ඡා සඳහා පදනම ලෙස එක්සත් ජාතීන්ගේ  ආරක්ෂක කවුන්සලයේ අංක 242 දරන යෝජනාව පිළිගත්තේ ය.

     එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය එක්ව 1991 පැවැත්වූ  ‘මැඩ්රිඩ්’ සමුළුව මගින් පළමු වරට ඊශ්‍රායලය හා පලස්තීනය අතර සාකච්ඡා ආරම්භ කළේ ය.  

     1993 දී නෝර්වේ හි දී පැවති ඊශ්‍රායල -පලස්තීන රහසිගත සාකච්ඡාවල ප්‍රතිඵලය වූයේ, බටහිර ඉවුරෙන් සහ ගාසා තීරයෙන් මෙන් ම, පලස්තීන ස්වයං පාලන රාජ්‍යයෙන්  ඊශ්‍රායල් හමුදා කොටස් වශයෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටි ඔස්ලෝ ගිවිසුමට එළඹීම ය. පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයේ  පැවැත්මට ඇති අයිතිය පිළිගන්නා අතර, ඊශ්‍රායලය ද පලස්තීන විමුක්ති සංවිධානය පලස්තීන ජනතාවගේ නියෝජිතයා ලෙස පිළිගනී.

     ඊශ්‍රායලය සහ ජෝර්දානය විසින් 1994 වසරේ දී සාම ගිවිසුමක් අත්සන් කරන ලද අතර, එහි මැදිහත්කරු වූයේ, එක්සත් ජනපදය යි.

    1995 දී එළඹි ඔස්ලෝ II ගිවිසුම මගින් බටහිර ඉවුරෙන් සියයට 40 ක් ඇතුළත් පලස්තීන ස්වයං පාලනයක් ගාසා තීරයේ  පිහිටුවනු ලැබී ය.

       දේශසීමා, ජනාවාස, සරණාගතයන් සහ යෙරුසලම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් 2000 වසරේ දී කැඳවන ලද ‘කැම්ප් ඩේවිඩ්’ සාකච්ඡා සඳහා ඊශ්‍රායල අගමැති එහුඩ් බරක් සහ පලස්තීන විමුක්ති හමුදාවේ සභාපති යසර් අරෆත් සහභාගී වූ නමුත්, සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ය.

      එම සාම ක්‍රියාවලිය බිඳවැටීමෙන් පසුව ඇති වූ දෙපාර්ශ්වයේ අවිශ්වාසය පලස්තීනය හා ඊශ්‍රායලය දෙවන ගැටුමකට ද මග පෑදී ය. . එහිදී ඊශ්‍රායල ජනයා දහසක් පමණ ද, පලස්තීනුවන් තුන්දහසකට වැඩි පිරිසක් ද ඝාතනයට ලක් වූ හ.

      2002 පමණ වනවිට අරාබි සාම මුලපිරීම නිසා ඊශ්‍රායල-පලස්තීන ගැටුම යම් තරමකට නිරාකරණය වී ය. එය ඊශ්‍රායලයට සාමය උදාකළ අතර,  අරාබි ලෝකය සමඟ සබඳතා සාමාන්‍යකරණය කිරීම ද සිදු වී ය.

   2003 වර්ෂයේ දී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට සහ පලස්තීන රාජ්‍යයකට මග පෙන්වන ඊශ්‍රායල-පලස්තීන සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කළේ ය.

   2005 දී  ඊශ්‍රායලය ගාසා තීරයෙන් ඉවත් වූ අතර, බටහිර ඉවුරේ ජනාවාස කණ්ඩායම්වල යථා ස්වරූපය හඳුනාගත් ජනාධිපති බුෂ් ඒ පිළිබඳව ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරොන් වෙත ලිපියක් යැවී ය.

     2008 – 2009 අතර කාලයේ හමාස් සංවිධානය ගාසා තීරයේ සිට ඊශ්‍රායල සිවිල් වැසියන්ට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය එම පලස්තීන සටන්කාමී කණ්ඩායම සමඟ යුද්ධයකට පිවිසියේ ය. සති අන්ත ගැටුමෙන් පලස්තීනුවන් දහසක් මියගිය අතර,  එහි දී ඊශ්‍රායලයට අහිමිවූයේ, ජීවිත  දහතුනක් පමණි.

   යෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගනිමින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙනයාමට 2017 දී තීරණය කළේ ය.

    එක්සත් ජනපදය විසින් පලස්තීනුවන්ට ලබාදෙන ද්විපාර්ශ්වික ආධාර 2018 වසරේ දී කප්පාදු කරනු ලබන අතර,  අනතුරුව ඔහු පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන හා වැඩ ඒජන්සියත් (UNRWA), වොෂිංටන් හි පිහිටි පලස්තීන විමුක්ති සංවිධානයේ කාර්යාලයත් වසා දමා සිය තානාපති කාර්යාලය යෙරුසලමේ විවෘත කිරීමට කටයුතු කරයි.

    ට්‍රම්ප් පරිපාලනය විසින් 2019 වසරේ දී ගෝලාන් කඳුකරයේ ඊශ්‍රායල ස්වෛරීභාවය පිළිගන්නා ලද අතර, ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ පවත්නා ජනාවාස ජාත්‍යන්තර නීතියට පටහැනි බව පැවසෙන දශක ගණනක් පැරණි රාජ්‍ය දෙපාර්තමේන්තු මතය සමඟ එකඟ නොවීමට ද තීරණය කරයි.

      බටහිර ඉවුරෙන් සියයට 30 ක් ඊශ‍්‍රායලයට ඈඳා ගැනීමටත්, අනතුරුව කුඩා පලස්තීන රාජ්‍යයක් බිහිකිරීම සඳහාත් පහසුකම් සපයන ඊස්රායල්-පලස්තීන සාමය පිළිබඳ සිය දැක්ම නිවේදනය කළ ජනාධිපති ට්‍රම්ප්, පසුව, ඔහුගේ පරිපාලන තැරැව්කරුවන් මගින් ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා බහු අරාබි රාජ්‍යයන් බහුතරයක් සමඟ ගනුදෙනු කරන්නට ද පටන්ගත්තේ ය.

     1973 යුද්ධයෙන් මාස ​​ගණනාවකට  පසු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංගර් අරාබි රාජ්‍යයන් සහ ඊශ්‍රායලය අතර ප්‍රධාන අතරමැදියා ලෙස කටයුතු කළේ ය. 1974 සහ 1975 දී මැද පෙරදිග අගනගරයන් අතර දියත් වූ ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යුද්ධය තීව්‍ර කිරීමට සහ සටන්කරුවන් යුද්ධයෙන් ඉවත් කිරීමට උපකාරී වී ය.

        එක්සත් ජනපද ජනාධිපති ජිමී කාටර් 1978 දී ඊශ්‍රායලය සහ ඊජිප්තුව අතර  පවත්වන ලද ‘කෑම්ප් ඩේවිඩ්’  සාම සාකච්ඡා, අනාගත මධ්‍යස්ථ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා අඩිතාලමක් සපයන එකඟතාවන් දෙකක්  බිහි කළේ ය. පළමුවැන්න ඊජිප්තුව, ඊශ්‍රායලය, ජෝර්දානය සහ පලස්තීනුවන් සම්බන්ධ කරගනිමින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ස්වයං පාලනය ගැන සාකච්ඡා පැවැත්වීම පිළිබඳව ය. දෙවැන්න ඊජිප්තුව සහ ඊශ්‍රායලය අතර සාම ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව ය. එම සාකච්ඡාවල ප්‍රතිඵලය ලෙස එම ගිවිසුමට 1979 දී ධවල මන්දිරයේ දී අත්සන් තැබිණි. ජෝර්දානය ද 1973 යුද්ධයට සම්බන්ධ පාර්ශ්වයක් වුව ද, වෙනත් අරාබි ජාතීන්ගේ හෙළා දැකීමට බියෙන් එම සාකච්ඡාවලට සම්බන්ධ නොවී ය. එහෙයින්, සිදුවූයේ, තවත්  ඊශ්‍රායල-ජෝර්දාන් සාම ගිවිසුමකට 1994 දී අත්සන් තැබීමට ය.

     පලස්තීන නායකයන් විසින් ඊශ්‍රායලයේ  පැවැත්මට ඇති අයිතිය  පිළිගනු ලැබූ  ඔස්ලෝ සාම ගිවිසුම ගැන  පැවති සාකච්ඡාවලින් 1993 දී එක්සත් ජනපදය ඉවත්ව ගියේ ය.  ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ස්වයං පාලනයක් ඊශ්‍රායලය පිළිගත්ත ද,  මතභේදාත්මක පාර්ශ්වයන් එක්ව ධවල මන්දිරයේ දී අවසන් ගිවිසුමට අත්සන් තැබූ හ. එක්සත් ජනපදය සහ බිල් ක්ලින්ටන් පරිපාලනය 1998 දී ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය අතර සාකච්ඡා සඳහා අනුග්‍රහය දැක්වූ අතර, එය රාජ්‍ය දෙකක විසඳුමක් ස්ථාපිත කිරීම සඳහා මග පෑදුවේ ය. එතැන් සිට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ ‘සාම සිතියම’, රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ ‘මූලධර්ම හය’ සහ ට්‍රම්ප්ගේ ‘සාමයෙන් සමෘද්ධියට’  විසින් ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වූ සැලසුම් යෝජනා වී ය.

     පාර්ශ්ව දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරන අතර ම, ජාත්‍යන්තර විවේචනවලින් ඊශ්‍රායලය ආරක්ෂා කරගැනීමට ද එක්සත් ජනපදය කටයුතු කර ඇති අතර,  සමහරු පවසන්නේ එය ගැටුම නිරාකරණය කිරීම සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට බාධාවක් වූ බව යි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස 1970 සිට එක්සත් ජනපදය සිය නිෂේධ බලය පාවිච්චි කර ඇත්තේ, වාර ගණනාවක් ඊශ්‍රායලයට වාරණ පැනවී⁣මේ යෝජනා අවහිර කිරීම සඳහා ය. එය ඊශ්‍රායලයට පක්ෂග්‍රාහී කටයුත්තක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය  දුටු බැවින්, 1980 සිට එක්සත් ජනපදය ඊශ්‍රායලය නිරවුල් කිරීම සම්බන්ධයෙන් හෙළා දැකීමට ආරක්ෂක මණ්ඩලයට එක ම වතාවක් හෝ ඉඩ දී ඇත්තේ 2016 අගභාගයේ දී ය. ඔබාමා පරිපාලනය මේ සම්බන්ධයෙන් ඡන්ද විමසීමෙන් පවා වැළකී සිටියේ ය.

      බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර අවංක මැදිහත්කරුවකුගේ භූමිකාව අතහැර දමා ඊශ්‍රායලයට දැඩි පක්ෂපාතී ස්ථාවරයක් ගත් බව යි. 2020 අගෝස්තු මාසයේ දී ට්‍රම්ප් පරිපාලනය ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුමක් ඇති කර ගන්නා අතර, එය ‘ඒබ්‍රහම්’ ගිවිසුම් ලෙස හැඳින්වේ.

     එහි දී දෙරට අතර සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වී ය. පසුව බහරේන්, සුඩානය සහ මොරොක්කෝව යන රටවල්  එක්සත් ජනපදයේ  තැරැව්කාර ගනුදෙනු ප්‍රකාශයට පත් කළේ ය. සාමාන්‍යකරණයට විරුද්ධ වන අය පවසන්නේ මෙම පියවර පලස්තීනයේ අභිලාෂයන් පාවා දෙන බව යි.

   2002 අරාබි සාම මුලපිරුමේ ඇති වෙනත් කොන්දේසිවල සඳහන්වන්නේ,  අරාබි ලීගයේ සාමාජික රටවල් ඊශ්‍රායලය සමඟ සබඳතා ඇති කර ගන්නේ පලස්තීන රාජ්‍යයක් බිහිවීමෙන් පසුව පමණක් බව යි.  බයිඩ්න් පරිපාලනය මෙම ගිවිසුම් පිළිගනිමින්  ඊශ්‍රායලය සමඟ සාමාන්‍යකරණය වීමට වෙනත් ජාතීන් දිරිමත් කරන බව පැවසුව ද,  එවැනි ගිවිසුම් ඊශ්‍රායල-පලස්තීන සාමයට ආදේශකයක් නොවන බව ද සඳහන් කළේ ය.

    1967 යුද්ධයට පෙර පැවති දේශසීමාවලට සමාන දේශසීමා සහිත වෙන ම ඊශ්‍රායල් හා පලස්තීන  ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා දශක දෙකකට ආසන්න වූ එක්සත් ජනපද සහයෝගය දිගට ම ලබා දෙන බව බයිඩ්න් පවසා තිබේ. මෙම භූමියට ගාසා තීරය, බටහිර ඉවුර සහ නැගෙනහිර යෙරුසලමේ සමහර කොටස් ඇතුළත් වේ. ක්ලින්ටන් පරිපාලනය  විසින් ද, පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම හා අනෙකුත් අවසාන තත්ත්ව ගැටළු විසඳීම සඳහා දල සටහන් සපයනු ලැබී ය.

        එක්සත් ජනපදය, යුරෝපා සංගමය, රුසියාව සහ එක්සත් ජාතීන්ගේ සසංවිධාන විසින් ඉදිරිපත් කරන ලද ‘2003 සාමය සඳහා වූ මාර්ග සිතියම’ නියෝජනය කරමින් පලස්තීන රාජ්‍යයක් ප්‍රසිද්ධියේ අනුමත කළ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස  ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඉතිහාසයට එක්වෙයි.  ඔබාමා පරිපාලනය ද රාජ්‍ය දෙකක විසඳුමක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ නමුත්, ජනාවාස පිළිබඳ එකඟ නොවීම්, පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සහ වෙනත් කාරණා සම්බන්ධයෙන් 2014 දී සාකච්ඡා බිඳ වැටුණි. 2016 දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ අවසාන තත්ත්ව සාකච්ඡා මත පදනම්ව ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන මූලධර්ම ගෙනහැර දැක්විණි.

      ‘සාමයෙන්  සමෘද්ධියට’ ලෙස නම් කරන ලද ට්‍රම්ප්ගේ සැලැස්ම මගින් පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා අවස්ථාව තිබිණි.  මෙම සැලැස්ම පලස්තීන සරණාගතයන්ට ඔවුන්ගේ කලින් ඉඩම්වලට ආපසු යාමට අයිතියක් ලබා නොදුන් නමුත් සංවර්ධනය වෙමින් පවතින පලස්තීන  රාජ්‍යයක් සඳහා ඩොලර් බිලියන 50 ක් පමණ ආයෝජනය කිරීමට එමගින් පොරොන්දු වී තිබිණි.

     ජෝර්දාන් නිම්නය සහ එහි සියලු ජනාවාස ඊශ්‍රායලය විසින් ඈඳා ගත්විට ට්‍රම්ප්ගේ සැලැස්මේ දක්වා ඇති සංකල්පීය සිතියම විසින් යෝජනා කර ඇති බටහිර ඉවුරේ පලස්තීන භූමිය  සියයට 70 ක් දක්වා හැකිලෙනු ඇත.  ⁣දේශපාලන විශ්ලේෂකයන් ට්‍රම්ප්ගේ මෙම සැලැස්ම හඳුන්වා ඇත්⁣තේ පලස්තීන නායකයින්ගේ අදහස් විමසීමකින් තොරව නිර්මාණය කරන ලද සැලැස්මක් ලෙස ය. පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස් එම සැලැස්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය “අපේම රාජ්‍යයේ පලස්තීන අයිතිවාසිකම්වල නීත්‍යානුකූලභාවය, ස්වයං නිර්ණය, නිදහස සහ ස්වාධීනත්වය සඳහා වන අපගේ අයිතිවාසිකම් අවලංගු කරන”  එකක් බව ය.

     එහෙයින්, අප්‍රිකානු සංගමය, අරාබි ලීගය සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය විසින් සිදු කර ඇති ආකාරයට ම කටයුතු  කරන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඔවුහු ඉල්ලා සිටිය හ. හමුදාකරණයට ලක්වූ ගාසා තීරයේ, නැගෙනහිර ජෙරුසලමේ සහ බටහිර ඉවුරේ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට එරෙහිව පලස්තීන අධිකාරිය 2020 ජුනි මාසයේ දී ප්‍රතිවිරෝධතා එක් කළේ ය.

       සාම්ප්‍රදායිකව එක්සත් ජනපදය දීර්ඝ කාලීනව ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා සහයෝගය ලබා දී තිබුණ ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන යෝජනා  සඳහා සහාය දක්වා නැත.  මෙම කාරණය තීරණය කළ යුත්තේ ඊශ්‍රායලය සමඟ සාකච්ඡා කිරීමෙන් පමණක් යැයි එක්සත් ජනපදය  ප්‍රකාශ කරයි.  2011 වසරේ සිට පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා සිටිය ද,  එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ නිෂේධ බලය හිමි එක්සත් ජනපදයේ අනුමැතිය මෙම පියවර අනුමත කිරීම සඳහා අවශ්‍යය ය. පලස්තීන අධිකාරියට තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහයෝගයක් ලැබී නැති නමුත්, 2012 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රටවල් 138 ක් පලස්තීනය හඳුනා නොගත් නිරීක්ෂක රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ඡන්දය ප්‍රකාශ කළේ ය.

     යෙරුසලම පිළිබඳ එක්සත් ජනපද ස්ථාවරය සලකා බැලීම මෙහි දී වැදගත් වනු ඇත. බ්‍රිතාන්‍ය පාලනය කළ පලස්තීනය වෙන ම අරාබි සහ යුදෙව් රාජ්‍යයන් ලෙස බෙදීමට 1947 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය ලබාදුන් අතර, ඒ අනුව ක්‍රිස්තියානීන්, යුදෙව්වන් සහ මුස්ලිම්වරුන්ගේ  ආගමික වැදගත්කම හඳුනා ගනිමින් එය වෙන ම ආයතනයක් ලෙස වෙන් කළේ ය. කෙසේ වෙතත්, අලුතින් ස්වාධීන වූ ඊශ්‍රායලය යෙරුසලම නගරයේ බටහිර අර්ධයේ සිය බලය පිහිටුවා ගත් අතර,  පසුව 1967 දී ජෝර්දානයේ සිට නැගෙනහිර යෙරුසලම දක්වා අල්ලා ගත්තේ ය. ඉන් නොනැවතුණු ඊශ්‍රායලය පසුව යෙරුසලමේ නාගරික දේශසීමා පුළුල් කර අසල්වැසි පලස්තීන නගර ඒකාබද්ධ කොට ඒවා ඵලදායී ලෙස ඊශ්‍රායලයට ඈඳා ගත්තේ ය.

   ඊශ්‍රායල-පලස්තීන ආරවුල පිළිබඳ අවසන් වැදගත් ගිවිසුම වන 1993 ඔස්ලෝ ගිවිසුමේ කොටසක් ලෙස, ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති  සංවිධානය තහවුරු කළේ යෙරුසලමට හිමිකම් පෑම තීරණය කරනු ලබන්නේ අවසාන තත්ත්ව සාකච්ඡාවල දී පමණක් බව ය. අද වනවිට ඊශ්‍රායලය මුළු යෙරුසලම නගරය ම තම  අගනුවර ලෙස සලකන අතර, පලස්තීන අධිකාරිය නැගෙනහිර යෙරුසලම තම අනාගත පලස්තීන රාජ්‍යයේ  කොටසක් ලෙස ප්‍රකාශ කරයි. 

     අනාගත සාම ගිවිසුමකට බාධා නොවන පරිදි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ සබඳතා පවත්වන බොහෝ රටවල් ටෙල් අවිව්හි තම තානාපති කාර්යාල පවත්වාගෙන ගිය හ. 1995 එක්සත් ජනපද නීතියකට අනුව, ඇමෙරිකානු තානාපති කාර්යාලය යෙරුසලමට ගෙනයාමට අවශ්‍ය වුව ද, ඉන්පසුව බලයට පත් එරට ජනාධිපතිවරු එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව ගැන සලකා  එම අවශ්‍යතාවෙන් ඉවත් වූ හ.

    කෙසේ වෙතත්, 2017 දී ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කරමින් තම තානාපති කාර්යාලය යෙරුසලමට ගෙන ගොස් යෙරුසලම නගරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගත්තේ ය.  මෙම ක්‍රියාව පලස්තීන නිලධාරීන්ට ට්‍රම්ප් පරිපාලනය සමඟ තිබූ සබඳතා බිඳ දැමීමට බලපෑවේ ය. මෙම සබඳතා යළි ස්ථාපිත කිරීමට ජනාධිපති බයිඩන් ප්‍රතිඥා දී ඇතත්, ඔහු ද පවසා ඇත්තේ එක්සත් ජනපද තානාපති කාර්යාලය යෙරුසලමේ පවත්වාගෙන යන බව ය.

   ඒ අතර, ට්‍රම්ප් විසින් වසා දමන ලද වොෂිංටනයේ පලස්තීන මෙහෙයුම් කාර්යාලය සහ නැගෙනහිර යෙරුසලමේ එක්සත් ජනපද කොන්සල් කාර්යාලය නැවත විවෘත කිරීමේ අදහස බයිඩන් නිවේදනය කළේ ය. කෙසේ වෙතත්, එසේ කිරීම දුෂ්කර වනු ඇත. මන්ද ? ට්‍රම්ප්ගේ පූර්වගාමීන් විසින් 1987 දී පලස්තීනුවන්ට එක්සත් ජනපදයේ මෙහෙයුම් කාර්යාලයක් පවත්වාගෙන යාම නීතියෙන් තහනම් කරනු ලැබ ඇති අතර, ට්‍රම්ප් පරිපාලනය  විසින් අනාගත එක්සත් ජනපද නායකයන්ට ද,  එම තහනම අත්හැරීම වැළැක්වීම සඳහා නීති සම්මත කරනු ලැබ තිබේ.

    ඊශ්‍රායල් ජනාවාස පිළිබඳ එක්සත් ජනපද ස්ථාවරය ද මෙහි දී ⁣බෙහෙවින් වැදගත් ය. 1967 යුද්ධයෙන් ටික කලකට පසු ඊශ්‍රායලය තමන් අත්පත් කරගත් සමහර ප්‍රදේශවල ජනාවාස තැනීමට පටන් ගත්තේ ය. අරාබි-ඊශ්‍රායල් යුද්ධවල දී දරුණු සටන් දක්නට ලැබුණු අතර, බටහිර ඉවුරේ සමහර ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීම සඳහා කම්කරු පක්ෂ ආණ්ඩු යටතේ ගැටුම සමතයකට පත්කිරීම සඳහා විවිධ ඉදිකිරීම් ආරම්භ වී ය.

     එහෙත්, සමහර පදිංචිකරුවන් එම භූමි පුදේශ ඔවුන්ගේ ආගමික හා ඓතිහාසික අයිතියක් ලෙස සැලකූ අතර, තවත් සමහරු ආර්ථික හේතූන් මත එම ප්‍රදේශවල පදිංචිව සිටිය හ. 2019 වන විට ඊශ්‍රායල ජාතිකයන් හයලක්ෂයක් පමණ බටහිර ඉවුරේ සහ නැගෙනහිර යෙරුසලමේ ජනාවාසවල වාසය කර තිබෙි.

    මෙම ජනාවාස, සාමයට ඉමහත් බාධාවක් යැයි එක්සත් ජනපදය වසර ගණනාවක් තිස්සේ නිල වශයෙන් හෙළා දුටුවේ ය. 1978 රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නෛතික මතයක සඳහන් වූයේ,  අල්ලා ගත්  භූමි ප්‍රදේශවල පිහිටුවන යුදෙව් ජනාවාස ජාත්‍යන්තර නීතිය යටතේ පිළිගත නොහැකි බව ය. එහෙත්, ජනාධිපති රොනල්ඩ් රේගන් 1981 දී සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ, ජනාවාස යනු ‘වැරදි උපදෙස්’ වුවත්, ඒවා  ‘නීති විරෝධී’  නොවන බව ය. 

    ඊශ්‍රායලයේ ජනාවාස ඉදිකිරීමට වැයවන  පිරිවැය එක්සත් ජනපද ණය ඇපකරයෙන් අඩු කර ඊශ්‍රායලයට ආධාර කළ පළමු ජනාධිපතිවරයා ජෝර්ජ් බුෂ් ය. කෙසේ වෙතත්, ක්ලින්ටන් පසුව නැගෙනහිර යෙරුසලමේ ජනාවාස ඉදිකිරීම  සඳහා අවසර ලබා දුන්නේය. 2004 දී ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ඊශ්‍රායල අගමැති ඒරියල් ෂැරොන් වෙත ලිපියක් යවමින්  ජනාවාස මගින් කිසිදු සාම ගිවිසුමක දී 1967 ට පෙර පැවති දේශසීමා වෙත ආපසු යාමට නොහැකි වනු ඇති බව පිළිගත්තේ ය.

    ඕනෑම සාම ගිවිසුමක දී පලස්තීනුවන්ට වෙනත් ඉඩම් ලබා දීම වෙනුවට ඊශ්‍රායලය සිය විශාලතම ජනාවාස කොටස් තුන තබා ගනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කළ හ. එනිසා, ඊශ්‍රායලයට තම පුරවැසියන් බොහෝ දෙනෙකුට ජනාවාසවලින් ඉවත්ව යාමට බල කළ හැකි යැයි කීම යථාර්ථවාදී නොවේ. බටහිර ඉවුරේ ක්‍රියාත්මක වන ඊශ්‍රායල ව්‍යාපාර තහනම් කිරීමට උත්සාහ කරන දේශපාලන ව්‍යාපාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට ද  ඔබාමා පරිපාලනය පියවර ගත්තේ ය.

   මෙම ඊශ්‍රායල්-පලස්තීන ගැටුමේ දී, ට්‍රම්ප් පරිපාලනය යුදෙව් ජනාවාස පිළිබඳ ඊශ්‍රායලයට හිතකර කැපී පෙනෙන දෘෂ්ටියකට යොමු වී ය. 2019 නොවැම්බරයේ දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 1978 රාජ්‍ය දෙපාර්තමේන්තු මතය සමඟ එකඟ නොවූ අතර, බටහිර ඉවුරේ සිවිල් ජනාවාස ජාත්‍යන්තර නීතියට පටහැනි නොවන බවත් සාම ක්‍රියාවලියට බාධාවක් නොවන බවත් පැවසී ය. ඔහුගේ මෙම ප්‍රකාශය හේතුවෙන්  කොන්ග්‍රසයේ සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමේ ලිපියකට අත්සන් කිරීමට පවා පෙළඹුණ හ.

     ට්‍රම්ප්ගේ සාම සැලැස්ම යටතේ,  සියලු ම යුදෙව් ජනාවාසවලට සහ ජෝර්දාන් නිම්නයට ස්වෛරීභාවය ලැබෙන අතර,  බටහිර ඉවුරෙන් සියයට 30 ක් පමණ ඊශ්‍රායලයට  හිමිවනු ඇත. මෙම සැලැස්මට අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ හිටපු ප්‍රතිවාදියා වන බෙනී ගැන්ට්ස්ගේ පොදු සහයෝගය ලැබුණු අතර, 2020 අප්‍රේල් මාසයේ දී ඔවුන් විසින් එක්සත් රජයක් පිහිටුවන ලදි.   මෙම සම්බන්ධතා  ඉදිරියට යනු ඇතැයි  නෙතන්යාහු අපේක්ෂා කළ ද, ප්‍රධාන පක්ෂ දෙකේ ම මානව හිමිකම් විශේෂඥයන්, එක්සත් ජනපද නීති සම්පාදකයන් සහ ලොව පුරා නායකයන් විසින් 2020 ජුලි මාසයේ දී මෙම යෝජනාව හෙළා දකින ලදි. කෙසේ වුව ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඇතිකර ගෙන තිබුණු  ‘ඒබ්‍රහම් ගිවිසුමේ’  කොටසක් ලෙස ඈඳා ගැනීම් නතර කිරීමට ඊශ්‍රායලය තාවකාලිකව එකඟ වී ය.

    එක්සත් ජනපදය වසර ගණනාවක් තිස්සේ පලස්තීනුවන්ට ආධාර ලබා දුන් අතර, වැඩි වශයෙන් පලස්තීන රජයට හා මානුෂීය වැඩසටහන් සඳහා සහාය දැක්වී ය. 1994 සිට 2018 දක්වා කාලය තුළ වොෂින්ටනය ඩොලර් බිලියන 5 කට වැඩි මුදලක් පලස්තීනයට ලබා දී ඇත. තව ද, එක්සත් ජනපදය 1950 සිට එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියට (UNRWA) ඩොලර් බිලියන 6 කට වැඩි ආධාර ප්‍රමාණයක්  ලබා දී ඇත. 2007 දී හමාස් සංවිධානය ප්‍රතිවාදී ෆටා පක්ෂය විසින් මෙහෙයවනු  ලබන පලස්තීන අධිකාරිය සමඟ ප්‍රචණ්ඩ ලෙස ගැටී ගාසා තීරයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසුව ආධාර ප්‍රවාහ ප්‍රතිව්‍යුහගත කරන ලදි. ඉන්පසු, එක්සත් ජනපදය හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන ලද අතර, එයට කිසිදු ආධාරයක් ලැබීම තහනම් කිරීමට ද  පියවර ගත්තේ ය.

   2018 දී ට්‍රම්ප් පරිපාලනය යටතේ බටහිර ඉවුරට සහ ගාසා තීරයට ලැබෙන ආධාර අඩු කිරීම සහ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය (UNRWA)සඳහා වන දායකත්වය අත්හිටුවීම නිසා පලස්තීනුවන්ට ලැබෙන  එක්සත් ජනපද ආධාර හැකිලීමට පටන් ගත්තේ ය.  යුද විරෝධී ක්‍රියාවන්ට හවුල් වූ බවට චෝදනා කරමින් පලස්තීන අධිකාරිය ඇතුළු එක්සත් ජනපද විදේශ ආධාර ලබන්නන්ට එරෙහිව නඩු පැවරීමට  අවසර දෙන ප්‍රතිත්‍රස්ත නීතියක් 2019 දී ට්‍රම්ප් අත්සන් කළේ ය. ත්‍රස්ත විරෝධී නීතිය ක්‍රියාත්මක වුව ද, බටහිර ඉවුර සහ ගාසා තීරයට ආධාර නැවත ආරම්භ කරන බව බිඩෙන් පරිපාලනය නිවේදනය කර තිබේ. ඒ අනුව, ඩොලර් මිලියන 200 කට වැඩි ආර්ථික හා සංවර්ධන ආධාර, වසංගත ආශ්‍රිත ආධාර සහ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හරහා අරමුදල් සැපයීම මෙයට ඇතුළත් වේ.

   මෙම ගැටුමට විසඳුමක් ලබා ගැනීම පිළිබඳව අපට බලාපොරොත්තු තැබිය හැකි ද ? මන්ද ?  ඊස්රායල්-පලස්තීන සාකච්ඡා සඳහා වන දැක්ම එතරම් ම  අඳුරු ය. අතීතයේ දී පලස්තීනුවන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ඒවාට වඩා වාසිදායක වන සහන පැකේජයක් ඊශ්‍රායලයෙන් පලස්තීනුවන්ට  ලැබෙනු ඇතැයි සිතිය නොහැකි ය. සමහර විශේෂඥන් පෙන්නා දෙන්නේ ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා වන අපේක්ෂාවන් දිගින් දිගට ම  මැකී යනු ඇති බව ය. බොහෝ විශ්ලේෂකයන් පවසන්නේ මෑතක සිට  ඊශ්‍රායලය සහ පලස්තීන අධිකාරිය  අතර නව සාකච්ඡා පැවැත්වීමේ සම්භාවිතාව අඩු වී ඇති බව ය. මේ අතර, හමාස් සංවිධානය සහ පලස්තීන අධිකාරිය අතර පවත්නා දේශපාලන බෙදීම් අනාගත සාකච්ඡා සඳහා අභියෝගයක්ව තිබේ.

    මෙම ගතිකතාවන් මගින්  ඊශ්‍රායල ජාතිකයන්  හා පලස්තීනුවන් එක් රාජ්‍ය ප්‍රතිපත්තියක් කරා යන මාවතකට යොමු කිරීම පහසුවනු ඇත. අවම වශයෙන් ජනගහනයෙන් අඩක් පමණ සිටින්නේ අරාබිවරුන්  බැවින්,  ඊශ්‍රායලය තවදුරටත් යුදෙව් රාජ්‍යයක් නොවනු ඇති බව බොහෝ නිරීක්ෂකයින්ගේ මතය යි.

   යුදෙව් රාජ්‍යයක් ලෙස පැවතීම සඳහා පලස්තීනුවන්ට සමාන අයිතිවාසිකම් ලබාදීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළහොත්,  එහි අනාගතය අඩපණ වනු ඇත. මෙම තත්ත්වයන් නොසලකා, එක්-රාජ්‍ය විසඳුමක් පිළිබඳ සංකල්පය කෙරෙහි දෙපාර්ශ්වයේ ම වැඩි උනන්දුවක් පවතී. එය ඊශ්‍රායල ජනතාව  අතර වඩාත් ජනප්‍රිය වී ඇති අතර,  2020 වසරේ පැවති පලස්තීනුවන්ගේ මත විමසුමකින් පෙනී ගියේ,  තුනෙන් එකක් පමණ ඊට සහාය දෙන බව යි.

      වසර 03 කට පමණ පසු පසුගිය දා    ඊශ්‍රායලය හා පලස්තීනය අතර යුද ගැටුම් උත්සන්න වූයේ, මෙවන් තත්ත්වයක් යටතේ ය. දින 11ක් තිස්සේ එම ගැටුම්වලින් පලස්තීනයට දැඩි අලාභහානි සිදු වූ අතර,    200 කට අධික ජීවිත සංඛ්‍යාවක් අහිමි වී ය. එයින් 34 දෙනෙකු කාන්තාවන් ය.  66 දෙනෙකු ළමුන් ය. 1900 දෙනෙක් පමණ මෙහි දී තුවාල ලැබූ හ. ඊශ්‍රායල ජාතිකයන් 12 දෙනෙකු මෙහි දී ජීවිතක්ෂයට පත් වූ අතර, ඔවුන්ගෙන් දෙදෙනෙක් ළමුන් ය.

    ඇමෙරිකා එක්සත් ජනපදය, ඊජිප්තුව වැනි රටවල් මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයට කරන ලද දැඩි බලපෑම් හේතුවෙන් පසුගිය   මැයි 21 වන දින  සිට සටන් විරාමයක් ක්‍රියාත්මක වෙයි.  මීට පෙර ද මෙම දෙපාර්ශ්වය අතර කිහිප වතාවක් සටන් විරාම ක්‍රියාත්මක වුව ද, විවිධ හේතූන් මත ඒවා බිඳ වැටිණි. මෙම සටන් විරාමය හෝ එසේ අතරමග බිඳ නොවැටී ඊශ්‍රායල- පලස්තීන ගැටළුවට විසඳුමක් ලබා දේ නම් එය ලෝක සාමයට මහත් අස්වැසිල්ලකි.෴

                                   අනුර බී. සෙනෙවිරත්න

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments