මූලික අයිතිවාසිකම්වලට අත තියන්න විධායකයට අයිතියක් නැහැ…නීතිඥ සුනිල් වටගල මහතා
හදිසි දැනුම්දීමකින් මේ මාධ්‍ය හමුව පවත්වන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත්කළ රැස්වීම් සහ උද්ඝෝෂණ තහනම් කළ ලිපියක් මගින් මේ රටේ සෑම දිස්ත්‍රික්කයකම පාහේ සමාජ ක්‍රියාකාරිකයින්, දේශපාලන නායකයින් සහ වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. (08) පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැත්වූ වෘත්තීය සමිති නායකයින්ගේ විරෝධතාවය අති අමානුෂික ලෙස මර්දනයට ලක්කළා. මෙයට දවස් කිහිපයකට පෙර ඌව පලාතේ ස්ථාන කිහිපයක සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුලු සගයන් අත්අඩංගුවට ගත්තා. ගම්පහ දිස්ත්‍රික්කයේ මහින්ද ජයසිංහ ගුරු වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගත්තා. අද දවසේදී කෑගල්ල, මාතර, ඇතුලු දිස්ත්‍රික් කිහිපයක අත්අඩංගුවට ගැනීම් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොතලාවල විශ්වවිද්‍යාල පනතට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වූවා. ඒවා මර්දනය කිරීමට සමාජ ක්‍රියාකාරිකයින් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පිළිබඳව නීතිමය කරුණු පැහැදිලි කරන්න මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් මැතිතුමා, ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ නිමලා සිරිවර්ධන මහත්මිය මේ අවස්ථාවට සහභාගි වෙනවා. අත්අඩංගුවට ගැනීම්වලට මූලික පදනම කර ගන්නේ 2021.07.06 වැනි දින පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ ලිපියක්. මේ ලිපියේ සඳහන් වෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා යැයි කියන “රැස්වීම් හා උද්ඝෝෂණ නැවත දැනුම්දෙන තුරු සිදු නොකළ යුතුයි.” කියන දේ. මේ ලිපිය අපි කවුරුවත් දැකලා නැහැ. අපි ඉතාම වගකීමෙන් කියනවා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරිපත් කරන මේ ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි කියලා. මේ ලිපියේ සඳහන් රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීමට තිබෙන අයිතිය ගැන සඳහන් වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. විශේෂ වටිනාකමක් සහිතව “මූලික අයිතිවාසිකම්” යටතේ වගන්ති සඳහන් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14.1 වගන්තිය යටතේ මේ අයිතිය ලබාදී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ලිපිය මගින් ඒ අයිතිය යම් තහනමකට ලක් කරලා අත්අඩංගුවට ගැනීමට යොදා ගන්නවා. එය තනිකරම නීතියට පටහැනියි. මූලික මිනිස් අයිතිවාසිකම් පරිච්ඡේදයේ වගන්ති වෙනස් කරන්න නම් 15වැනි වගන්තිය යටතේ අදාල නිතියකින් විතරයි. මෙහි නීතිය කියන්නේ මොකක්ද? 170 වගන්තියේ අර්ථ විග්‍රහයේ සඳහන් වෙන හැටියට නීතිය කියන්නේ පාර්ලිමේන්තු පනතකට. පාර්ලිමේන්තු පනතකින් 14වැනි වගන්තිය වෙනස් වුණොත් විතරයි මේ වගේ ලිපියක් එන්න පුළුවන්. ඒ හැර අනු නීතියකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් වෙනස් කරන්න බැහැ. තව විදිහකින් කියනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි වගන්තිය පවතින තාක් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරන්නේ කොහොමද? නිරෝධායන නිර්දේශ යටතේ ඇමතිට පුළුවන් නියෝග හදන්න. ඒ නියෝග ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා. මේ ලිපියෙන් කියන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් රැස්වීම් හා උද්ඝෝෂණ තහනම් කරන්න පොලිස්පතිට කීවාය කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තියේ සඳහන් වෙන්නේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ වගන්තිවලට අත තියන්න විධායකයට අයිතියක් නැති බව. එහෙම අවස්ථාවක් දීලා නැත්තේ ආණ්ඩුව මෙහෙයවීමේ ක්‍රියාවලියක් ඇතුළේ විධායකය මූලික අයිතිවාසිකම්වලට ඇඟලි ගහල වෙනස් කරන නිසා. මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ඈ) වගන්තිය 14.1 වගන්තිය සහ 15වන වගන්තියත් 170 වැනි වගන්තියත් ගත්තාම මේ ලියවිල්ල අර්ථ ශූන්‍ය ලියවිල්ලක්. මේ ලියවිල්ලට කිසිම බලයක් නැහැ. මේ ලියවිල්ලෙන් කරලා තියෙන්නේ තමන්ගේ කුප්‍රකට දේශපාලන අභිලාෂයන් ඉටුකර ගැනීමක්. මේක නීති ලියවිල්ලක් නෙවෙයි, දේශපාලන ලියවිල්ලක්. මේ කරලා තියෙන්නේ තමන්ගේ දේශපාලන අතකොළුවක් වෙච්ච අයගේ සිතැඟි ඉටු කිරීමක්.