වත්මන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන හා මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත ඊයෙ (08) දිනයේ පාර්ලිමේන්තුවට ගෙනාවා. එය විවාදයට ගෙන එදිනම සම්මත කර ගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වුණා. නමුත් ඊට එරෙහිව මතු වූ විරෝධතා හේතුවෙන් සම්මත කරගැනීම පසුපසට ගැනීමට ආණ්ඩුවට සිදු වුණා. මේ වන විට එය අගෝස්තු මාසය තෙක් කල් ගොස් තිබෙනවා. මේ විසකරු පනතට එරෙහිව ශිෂ්‍යයන්, දෙමව්පියන්, වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ රට පුරා විරෝධය පළ කළා. කෙසේ නමුත් ආණ්ඩුවේ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ පොලීසිය විසින් මේ විරෝධතා දැක්වූවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තා. හැටන් නගරයේදී අපේ පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල සුරවීර සහෝදරයා, වතු වෘත්තීය සමිති නායිකා කෙලෙයි සෙල්වි සහෝදරිය ඇතුළු සිව් දෙනෙක්ද මාතර අකුරැස්සේදී ලාල් ප්‍රේමනාත් සහෝදරයා ඇතුළු දොළොස් දෙනෙක්ද පාර්ලිමේන්තු වටරවුමේදී ලංකා ගුරු සංගමයේ නායක ජොෂ්ප් ස්ටාලින් සහෝදරයා ඇතුළු 33ක්ද අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දුන්නත් පාර්ලිමේන්තු වටරවුමේ උද්ඝෝෂණය කිරීමෙන් අත්අඩංගුවට ගන්නා ලද අයගෙන් 16ක් පොලීසිය විසින් බලහත්කාරයෙන් නිරෝධායනයට රැගෙන යනු ලැබුවා. මෙසේ තමන්ගේ මූලික අයිතිවාසිකම අනුව විරෝධය පළ කළ පිරිසක් ආණ්ඩුව විසින් අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමත් බලහත්හාරයෙන් නිරෝධායනයට යොමු කිරීමත් අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස හෙළා දකිනවා.
මෙය සරල කරුණක් ලෙස නොසලකන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලනවා. මෙවැනි තත්වයක් ඇතිවන්නේනම් මේ රටේ කිසිදු ජන කණ්ඩායමකට තමන්ගේ විරෝධය පළ කිරීමට නොහැකි වෙනවා. මෙවැනි තත්වයකින් ආරම්භ වෙන මර්දනකාරී තත්වය රට අතිශය බරපතළ තත්වයකට පත් කරනවා. ආණ්ඩුව විසින් මේ උල්ලංඝනය කරමින් සිටින්නේ මේ රටේ ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකමක්. ආණ්ඩුව එම මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීම සඳහා කොරෝනා නීතිය පාවිච්චි කරමින් සිටිනවා. ඒ සඳහා පොලීසිය ඉදිරිපත් කරන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් පොලීසිය විසින් නිකුත් කරන ලද නිවේදනයකුයි.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස, ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස පුරවැසියන්ට හිමිවී තිබෙනවා. නමුත් ආණ්ඩුව විසින් කොරෝනා නීති පාවිච්චි කරමින් ආණ්ඩුවට එරෙහිව එල්ල වන විරෝධය මර්දනය කිරීමට උත්සාහ දරනවා. මේ රටේ පුරවැසින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ රට පාලනය කරන බාග පුරවැසියනුයි. ඔවුන් මෙරට සහ ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන දෙමුහුන් පුරවැසියනුයි. මේ අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි අධිකරණයට යෑමට සූදානම්.
පොලීසිය විසින් මේ අත්අඩංගුවට ගැනීම් සිදු කළේ අතිශය තිරශ්චීන ලෙසයි. සිංහල බෞද්ධකම ගැන කියමින් බලයට ආ රාජපක්ෂ පාලනය විරෝධතාවට එක්වී සිටි භික්ෂූන් වහන්සේ පොලීසිය ලවා වැඩම්ම වූ ආකාරය අපි දැක්කා. ස්වාමීන් වහන්සේලා බිම දිගේ ඇදගෙන ගියා. කාන්තාවන්ට හිරිහැර කළ ආකාරය මාධ්‍යවලින් සියලු දෙනාට දැක ගත හැකිවුණා. කාන්තාවන්ට අත තැබීමට පිරිමි පොලිස් නිලධාරීන්ට කිසිදු අයිතියක් නැහැ. නමුත් එසේ තිබියෙදී පොලිස් නිලධාරීන් විසින් කාන්තාවන් ඇදගෙන යන ආකාරය අපි දැක්කා.
නීතියේ රැකවරණය ලැබීමට සියලු දෙනාට අයිතියක් තිබෙනවා. මේ නින්දිත සිදුවීමේ වගකීම පොලීසිය භාර ඇමතිවරයා විසින් භාර ගත යුතුව තිබෙනවා. අද ආණ්ඩුව භික්ෂූන් වහන්සේලාට, කාන්තාවන්ට සලකන ආකාරය මෙයින් පෙනෙනවා. ආණ්ඩුව බලයෙන් උද්දච්ඡ වී වියරු වැටිලා. ආණ්ඩුවේ මේ ජ්‍රජාතන්ත්‍ර විරෝධී ගමන වහා නතර කළ යුතුයි.