කොවිඩ් වසංගතය දරුණුම ආකාරයෙන් පැතිර ගිය තවත් රටක් වන බ්‍රසීලයේ සමස්ත ආසාදිතයන් ගණන ලක්‍ෂ 50 ඉක්මවා තිබේ. මෙම සීමාව ඉක්මවා ගොස් ඇත්තේ පසුගිය අඟහරුවාදා දිනය තුළ ආසාදිතයන් 31,553 ක් වාර්තා වීමත් සමගිනි. මේ වන විට බ්‍රසීලය තුළ කොවිඩ් මරණ ගණන 150,000කට ආසන්න වෙමින් තිබේ. ලතින් ඇමරිකානු රටවල් අතර වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද බ්‍රසීලයෙනි. එරට ජනාධිපති ජයිර් බොල්සොනාරෝ පවා කොරෝනා වයිරසයට ගොදුරු වූ බව රහසක් නොවේ. ලෝකයේ ආසාදිතයන් වැඩිම රටවල් අතර බ්‍රසීලය තුන්වැනි ස්ථානයේ පසුවෙයි. පළමු සහ දෙවැනි තැන්වල පසුවන්නේ පිළිවෙළින් ඇමරිකාව සහ ඉන්දියාවයි.
බ්‍රසීලය තුළ වසංගතය දරුණු මට්ටමකට පත් වූයේ බොල්සොනාරෝ රජය එය කළමනාකරණය කළ ආකාරය තුළ පැවැති දුර්වලතා නිසා බවට නිරන්තරයෙන් චෝදනා එල්ල විය. ජනාධිපතිවරයා මුල් දිනවල එය හැඳින්වූයේ සුළු උණ තත්ත්වයක් වශයෙනි. රට අගුළුලෑම වැනි පියවරවලට පවා ඔහු විරුද්ධත්වය දැක්වීම කැපී පෙනුණු කාරණයක් විය. කෙසේ වෙතත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වන විට බ්‍රසීලය තුළ වසංගතය පෙරට වඩා පාලනය වී ඇති බවයි. ආසාදිතයන් සහ මරණ වාර්තා වීම මේ වන විට අඩු වෙමින් තිබේ. මේ අතර ජනාධිපති බොල්සොනාරෝගේ ජනප්‍රියත්වය වැඩි වෙමින් තිබීමද තවත් විශේෂත්වයකි. එයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ වසංගතය නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු ක්‍රියාත්මක කළ වැඩසටහන් බව නිරීක්‍ෂකයන්ගේ අදහසයි.