25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරනවා - "ජාතික සඳුන් අරණ" ජාතියට තිලිණ...

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කරනවා – “ජාතික සඳුන් අරණ” ජාතියට තිලිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි

නාගතය පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය,ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ  බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (20) දින පස්වරුවේ දී මේ බව අවධාරණය කළේය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව යමින් රට හරිත කලාපයක් බවට පත් කිරීමේ වැඩ පිළිවෙලට සමගාමීව අක්කර 9කින් යුතු භූමි භාගයක් පුරා සඳුන් අරණ විහිදෙයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉහළ ආර්ථික වටිනාකමකින් යුත් මෙම භූමි ප්‍රමාණය හරිත සංකල්පය ප්‍රමුඛ කර ගනිමින් ජනතාව වෙනුවෙන් නිර්මාණය වූ වෙනස්ම ආකාරයේ පරිසර හිත මිතුරු ව්‍යාපෘතියකි.

ජාතික සඳුන් අරණ රට තුළ සංවර්ධනය කළ යුතු ප්‍රදේශ හඳුනාගනිමින් යටිතල පහසුකම් සහිතව හරිත කලාප ඇති කිරීමේ වැඩපිළිවෙලේ එක් සංධිස්ථානයකි.

ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ.මෙය ජනතාවට නොමිලේම නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකි අපූරු නවාතැනකි. 

වෙනස් වූ විවිධත්වය අගයන්නන්ට සේම ගැඹුරු පර්යේෂණ කරන්නන්ට තමන් සොයන නිදහස් මතයන්ට සහ පර්යේෂණවලට පිවිසීමට ජාතික සඳුන් අරණ ප්‍රයෝජනවත් වනු ඇත.

ව්‍යායාම කිරීම‍, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට  සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ.

කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නැවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.

පොකුණු දෙකක් මැදින්  ප්‍රවේශය තනා ඇති උද්‍යානය සෞම්‍ය ආලෝක රටාවන්ගෙන් රාත්‍රියේ දී විචිත්‍රවත් වේ. එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශණ හා සංස්කෘතික උළෙලවල් හා විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා යොදා ගත හැකි ය.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට පළමු අදියරේ දී රුපියල් මිලියන 132ක් සහ දෙවන අදියර යටතේ රු.මි 162ක් වැය කරනු ලබයි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 294කි.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජාතික සඳුන් අරණ ජාතියට තිලිණ කරමින් කළ සම්පූර්ණ කතාව මෙසේ ය.

ජාතික වැදගත්කමක් ඇති මේ උත්සවයට ගරු අග්‍රාමාත්‍යතුමාන්ට සහභාගිවය නොහැකි වුවත් මෙම ජාතික කර්තව්‍යය වෙනුවෙන් එතුමාගේ සුබාශිංසන එකතු කරනවා.

අපි දන්නවා අපේ රටේ උද්‍යාන කියන සංකල්පය අලුත් සංකල්පයක් නොවේ. අපේ රටේ ඉතිහාසයේ සිට හෙළ රජ දවසේ සිට මේ උද්‍යාන කියන සංකල්පය අපේ රටේ ක්‍රියාත්මක වුණා.

අනුරාධපුරයේ මහ මෙවුනාවේ සිට සීගිරියේ ජල උද්‍යානය දක්වා දේශීය වශයෙන් මෙන්ම විදේශීය ගවේශකයින්ගේ පර්යේෂණවලට ලක් වූ උද්‍යාන නිර්මාණය කරපු ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා.

මෑත යුගයේ මේ උද්‍යානකරණය නැවත වතාවක් පණ ගන්වන්න ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ආණ්ඩු සමයේ ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිතුමන්එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු ආරම්භ කළා.

ඒ අනුව එදා කුණු ගොඩ ගැහිලා තිබුණු කොළඹ, කොන්ක්‍රීට් වනාන්තරයක්ව තිබුණු කොළඹ දිස්ත්‍රික්කය නවීන සහ පරිසර හිතකාමී නගරයක් බවට පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළා.

එහි ප්‍රතිඵල කොළඹ නාගරක ජන සමාජයේ කොතැනකට ගියත් අපිට දැක ගන්න ලැබෙනවා.

එක පැත්තකින් එය අපේ රටේ ජනතාවගේ මානසික හා කායික සෞඛ්‍ය සංවර්ධනයට ගොඩනගපු දෙයක් කියලා අපි විස්වාශ කරනවා.

ඇවිදින මංතීරු, දියත උයන, අපේ ගම සංකීර්ණය, කිඹුලාවල ප්‍රදේශයේ ඇවිදින මංතීරු ඇතුලු මේ ප්‍රදේශ මහා දැවැන්ත පරිසර හිතකාමී නගර බවට පරිවර්තනය වෙලා තිබෙනවා.

අපි දැක්කා පහුගිය කාලේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළත් බොහෝ වෙලාවට කතා වූ කාරණය තමයි පරිසරය සහ පරිසරය ආරක්ෂා කිරීම පිළිබදව.

එදා අපි දැක්කා සමාජ මාධ්‍යවල පිටරට ගස් කපපු පිංතූර පවා අපේ රටේ වන විනාශයක් වන බවට ඒත්තු ගන්වලා කතිකාවතක් ගොඩ නගන්න සමහර උදවිය කටයුතු කළා.

ලංකා ඉතිහාසයේ පළමු වතාවට ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව දුර්ලභ සඳුන් ශාක 1200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත උද්‍යානයක් ගොඩනැගිලා තිබෙනවා.

නාලක ගොඩහේවා අමාත්‍යතුමාත් සදහන් කළා මෙතෙක් රත්හදුන් ශාක 40 පමණයි ලංකාව තුළ තිබුණේ කියලා. අද මේ උද්‍යානය තුළ බැලුවාම එය 300 ක් දක්වා රෝපණය කරන්න හැකියාව ලැබිලා තිබෙනවා.

සඳුන් ශාකය අපේ සංස්කෘතිය හා බැදුණු ශාකයක් ලෙස හදුන්වනවා. අනෙක් පැත්තෙන් ආයුර්වේදයත් සමග බැදුණු ශාකයක් බවට පත් වෙනවා.

මෙම සඳුන් ශාක 1200 කට අධික වන අරණ මීළග පරම්පරාවට අපි ලබා දෙන මහගු දායාදයක් ලෙස මා විශ්වාස කරනවා.

නාගරික සංවර්ධන අධිකාරිය විදියට මේ රටේ නගර සංවර්ධනයට සෘජුවම දායක වන ආයතනයක්. පැල්පත් නිවාස ඉවත් කොට කොළඹ නගරයේ ජීවත් වන ජනතාවට ජීවත් වීමට සුදුසු නිවාස ලබා දෙන්න කටයුතු කරනවා.

ග්‍රාමීය නගර නව නගර බවට පරිවර්තනය කරනවා නාගරික උද්‍යාන සංකල්පය යටතේ. මේ වන විටත් එවැනි නාගරික උද්‍යාන සමග නව නගර 100 ක් නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක වෙනවා.

අපි දන්නවා මේ කාල සීමාව තුළ කොවිඩ් 19 වසංගතයත් එක්ක අපේ රටේ වගේම ලෝකයේ ජන ජීවිතය අඩාල වුණා. ගමනාගමනය සීමා වුණා.

ඒ වගේම ජනතාව වෙනදාට වඩා පරිසරයත් එක්ක ලංවෙන්න පටන් ගත්තා. සංස්කෘතියත් එක්ක, ආගම දහමත් එක්ක ලංවෙලා වැඩ කරන්න අලුතින් පුරුදු වුණා.

ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ රටේ සංචරණ සීමා දාලා තියෙද්දී මේ නාගරික උද්‍යානවල තිබෙන වැදගත්කම පිළිබදව කතා කලා.

සමස්ත ලෝකයම කොරෝනා වසංගතයේන පසු නව සාමාන්‍යකරනයත් එක්ක අපි ජීවත්වෙන්නේ කොහොමද කියන එක පිළිබදව වැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා.

එවැනි වකවානුවක, ගෝලීය ආර්ථික අවපාතයකට මුහුණ දෙන අවස්ථාවක වසංගත තත්ත්වය පාලනය කර රටක් විදියට ඉතාමත් ඉක්මනට ක්‍රමාණුකූලව රට විවෘත කරන්නඅපිට හැකියාව ලැබිලා තිබෙනවා.

වසංගතයේ ව්‍යාප්තිය පාලනය කරනවා වගේම කඩිනම් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලත්, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදත් භාවිතය මේ සදහා ඉවහල් වුණා.

අද දකුණු ආසියාවෙන් වගේම ලෝකයෙන්ම ඉතාමත් වේගයෙන් එන්නත්කරණය කරන රට බවට අපි පරිවර්තනය වෙලා තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමාගේ ඉලක්කය තමයි සැප්තැම්බර් මාසය වෙනකොට වයස අවුරුදු 30 ට වැඩි මේ රටේ සියලු දෙනාටම අවශ්‍ය එන්නත් මාත්‍රාවන් ප්‍රමාණය ලබා දෙන්න.

මට මතකයි අපේ ආණ්ඩුව පත් වෙලා කෙටි කාලයක් යනකොට සමහර දේශපාලන පක්ෂ කිවුවා මේ ඉඩම විකුණන්න යනවා කියලා

තවත් සමහරු කිවුවා ඉඩම් මංකොල්ලකෑමක් කරන්න වර්තමාන ආණ්ඩුව සැරසෙනවා කියලා.

අපි ආයෝජකයෝ ගේන්න ඕනේ. ආයෝජකයෝ ගෙනැල්ලා රටේ අලුත් රැකියා උත්පාදනය කරන්න අවශ්‍යයි.

නාගරීකරණයට යනකොට ඒ යන ගමන තුළ මේ රටේ පරිසර පද්ධතිය රැක ගන්න කටයුතු කරන්න අවශ්‍යයි.

එයයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බලාපොරොත්තුව.

මහා ගොඩනැගිලි ඉදි කරනකොට ඒවාට සරිලන පරිසර පද්ධති බිහි කරන්න අවශ්‍යයි. ඒ නිසා තමයි එදා චෝදනා නගමින්, බොරු ගොතමින් ආණ්ඩු කරපු අයට මෙවැනි උද්‍යාන ඉදි වෙනකොට එය දරා ගැනීමට නොහැකි වෙලා තිබෙන්නේ.

අපි මේ රටේ ජනතාවට මතක් කරන්න ඕනේ ගෝඨාභ්‍ය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථවත් කරන්න අපි ආණ්ඩුවක් විදියට කටයුතු කරන්න කැපවෙලා වැඩ කරනවා.

මම මේ රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබ මේ ජාතික සඳුන් උයන නරඹන්න එන්න. මේ තිබෙන සුන්දරත්වය අත්විදින්න. මෙහි ඇති අලංකාරය පිළිබදව, සුන්දරත්වය පිළිබදව ඔබේ සමාජ ජාලවල, ෆේස්බුක් පිටුවේ, පොත් පත් වල කවි නිසැදැස් ලෙස පල කරන්න. චිත්‍ර නිර්මාණය කරන්න.

මෙම ජාතික සඳුන් අරණ රටෙන් ලෝකය වෙත රැගෙන යාමේ ජාතික මෙහෙය සදහා ඔබත් එකතු වෙන්න කියලා මම ආරාධනා කර සිටිනවා.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉදිකිරීම් කටයුතු නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශණද සිල්වා යන අමාත්‍යවරු, මධුර විතාන, ප්‍රෙමනාත් සී දොළවත්ත, ජගත් පුෂ්පකුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම් සිරිනිමල් සේකර,  නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරල් රංජන් ළමාහේවා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments