28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්කුමාර් ගුණරත්නම්ගෙන් අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ලිපියක්.

කුමාර් ගුණරත්නම්ගෙන් අනෙකුත් දේශපාලන පක්ෂ වෙත ලිපියක්.

මේ වනවිට ලංකාව ඉතා බරපතල ආර්ථික අර්බුදයකට ගොදුරු වී තිබේ. විශේෂයෙන් විදේශ විනිමය උත්පාදන මාර්ග බිඳ වැටී ඇති අතර වැඩකරන ජනතාවගේ දෛනික ආර්ථිකය විශාල අර්බුදයකට ලක්වී ඇත. අසංවිධිත ශ්‍රම ක්ෂේත්‍රයේ බොහෝ අයගේත්, වැටුප් ශ්‍රමිකයන්ගේත්, ගොවි-ධීවර ආදී ක්ෂේත්‍ර වලත් ආදායම් වල මූර්ත අගය පමණක් නොව එහි සංඛ්‍යාත්මක අගයද අඩුවී ඇති බව අවිවාදිතය. මේ අර්බුදය හමුවේ දිගින් දිගටම ණය ගැනීම, මුදල් මුද්‍රණය කිරීම, මහජන දේපල හා රාජ්‍ය ව්‍යවසායන් විකිණීම, අධ්‍යාපනය – සෞඛ්‍ය සේවය ඇතුළු සමාජ ආරක්ෂණ සේවා වාණිජකරණය කිරීම, ධන කුවේරයන්ට බදු සහන දෙන අතර ජනතාව මත බදු බර පැටවීම වැනි ක්‍රියාමාර්ග ගැනීම නිසා අර්බුදය ව්‍යසනයක් දක්වා වර්ධනය වෙමින් තිබේ.
මෙම ආර්ථික අර්බුදයට අමතරව දේශපාලන-සමාජ-සංස්කෘතික-පාරිසරික අර්බුද විසින් ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කෙරෙමින් ඇත. පවතින අර්බුදය සිය භූ-දේශපාලනික බල අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට එක්සත් ජනපදය – චීනය – ඉන්දියාව ඇතුළු අධිරාජ්‍යවාදීන්, ලෝක බලවතුන් හා කලාපීය බලවතුන් ප්‍රයත්න දැරීමත් සමග සමස්ත ලාංකේය ජනතාවගේ ආරක්ෂාව අවදානමකට ලක්ව තිබෙන බව නොරහසකි. ආණ්ඩුව මේ තත්වයට මුහුණ දීමට සැරසෙන්නේ සමාජයේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වඩවඩාත් කප්පාදු කරමින් සහ ජාතිවාදය-ආගම්වාදය හරහා ජනතාව අසමගි කර ගැටුම් වලට පෙළඹවීමෙන් බවද නිරීක්ෂණය කළ හැක. වර්තමානය වන විට සියළු ක්ෂේත්‍ර ආවරණය කරමින් දියත් වන මිලිටරීකරණය බරපතල සමාජමය අභියෝගයක් ලෙස අපට අභිමුඛ වී තිබේ. වසංගතය හමුවේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර නොගත් ආණ්ඩුව මේ වනවිට නිරෝධායන නීතිය භාවිතා කරමින් සිටින්නේ උද්ඝෝෂණ මර්දනය සඳහා බව මෑත කාලීන සියළු උදාහරණ වලින් තහවුරු වේ.
මෙම තත්වය පිළිබඳවත්, ඒ හමුවේ එයට මුහුණ දීම සම්බන්ධයෙන් අප අතර සාකච්ඡාවක් සිදුවිය යුතු බව විශ්වාස කරමු.  එම සාකච්ඡාව සඳහා දිනයක් සහ වෙලාවක් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments