21.2 C
Sri Lanka
Saturday, August 9, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා නාවික හමුදාධිපති රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ නාවික දින සැමරුම් උළෙලට...

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ නාවික දින සැමරුම් උළෙලට සහභාගී වේ

රුසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ 325 වන නාවික හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පැවති නාවික පෙළපාලිය 2021ජූලි මස 25 වන දින රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මහතාගේ ප්‍රධානත්වයෙන් රුසියාවේ ශාන්ත පීටස්බර්ග් නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රුසියානු සමූහාණ්ඩුවේ නාවික හමුදාධිපති, අද්මිරාල් නිකොලායි යෙව්මෙනොව් (Admiral Nikolai Yevmenov) ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චන්දිමා උළුගේතැන්න මැතිණියද සහභාගී විය. 

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ රුසියානු නාවික හමුදාවේ 325 වන නාවික හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් පැවති මෙම නාවික පෙළපාලිය සහ නෞකා පෙළ ආචාරය සඳහා රුසියානු සමූහාණ්ඩුවේ නාවික හමුදාවට අයත් නාවික පුද්ගලයන් විශාල පිරිසක් සහභාගීවී සිටි අතර, 50කට අධික යුද නෞකා යාත්‍රා සහ සබ්මැරීන් මෙන්ම රුසියානු නාවික හමුදාවට අයත්  ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ඇතුළු ගුවන් යානාවන්ද මේ සඳහා එක්ව සිටින ලදී. තවද, ඉන්දියාව, පකිස්තානය සහ ඉරානය යන රාජ්‍යන්ගේ නාවික හමුදාවන් නියෝජනය කරමින්ද යුද නෞකා මෙම රැසියානු නාවික හමුදා සංවත්සර දින නෞකා පෙළ ආචාරය සඳහා එක්ව සිටින ලදි.

මෙම අවස්ථාව  සඳහා සහභාගී වූ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නයිජීරියාව, ඉරානය, බ්‍රසීලය සහ මියන්මාරය යන රාජ්‍යයන්ට අයත් නාවික හමුදා ප්‍රධානීන් සහ අනෙකුත් නියෝජිතයන් පිළිගැනීමේ උත්සවයක් ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ රුසියානු නාවික හමුදාධිපති නිළ නිවසේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා සහභාගී වූ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් එහිදී අදහස් දක්වමින්,  ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා  තිබෙන ශ්‍රී ලංකාව,  කළාපීය සහ කළාපීය නොවන පාර්ශවකරුවන් සමඟ සහයෝගී සහ සාමූහික ප්‍රවේශයක් තුලින් පොදු   සාගරික ආරක්‍ෂක අභියෝග ජයගැනීමට හැකියාව ඇති බවට විශ්වාස කරන බව පවසන ලදී. ‍එමෙන්ම, මෙවැනි අවස්ථාවන්ට සහභාගීවීම  තුළින් තවදුරටත් එම සහයෝගීත්වය වර්ධනය කර ගැනීමට අවස්ථාව උදාවනු ඇති බව පවසමින් රුසියානු නාවික හමුදා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුභාශිංසන පිරිනැමූ නාවික හමුදාධිපති, මෙම සුවිශේෂී අවස්ථාවට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පල කිරීමටද මෙහිදී කටයුතු කෙරිණි.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකා නාවික හමුදාධිපති සහ රුසියානු නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශවීක හමුවක් ශාන්ත පීටර්ස්බර්ග් හිදී පැවැත්වුණු අතර, එහිදී දෙරටේ නාවික හමුදා සම්බන්ධයෙන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සහ දිගු කාලීන සබඳතාවය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සුහද පිළිසඳරක්  පැවැත්වීමෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි. 

එමෙන්ම, මෙම සංවත්සර උළෙලට සහභාගී වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් තබාර් (INS Tabar) නෞකාවේ  පැවති පිළිගැනීමේ උත්සවයකදී  නාවික හමුදාධිපති  වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං හමුවූ අතර, එහිදී ඉන්දියානු නාවික හමුදාධිපති විසින් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදාවන් අතර ඇති දිගුකාලීන සමීප සබඳතාවය  සහ  ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිලිබඳ සුහද පිලිසඳරක නිරත විය. තවද, එම පිළිගැනීමේ හමුව අතරතුර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රැසියානු සමූහාණ්ඩු නාවික හමුදාවේ බෝල්ටීක් නෞකා සමූහයේ නියෝජ්‍ය අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් සර්ජි යෙලිසෙයෙව් (Sergei Yeliseyev) හමුවී අදහස් හුවමාරු කර ගැනීමටද කටයුතු කෙරිණි.

තවද, රුසියාවේ ශ්‍රී ලංකා තනාපති මහාචාර්ය එම්ඩී ළමාවංශ මහතා රුසියාවේ මොස්කව් හි පිහිටි තානාපති නිළ නිවසේදී නාවික හමුදාධිපති පිළිගැනීමේ හමුවක් පැවති අතර, එහිදී අදහස් දැක්වූ රුසියාවේ ශ්‍රී ලංකා තනාපති, කළාපීය හා කළාපීය නොවන රාජ්‍යයන්ට අයත් නාවික හමුදාවන් සහ නාවික හමුදා ප්‍රධානීන් සහභාගී වන මෙවැනි අවස්ථා සඳහා සම්බන්ධ වීමෙන් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීම සඳහා මෙවලමක් ලෙස නාවික හමුදාව (Naval Diplomacy)  යොදා ගැනීමට ඇති හැකියාව අවධාරණය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments